
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට (UNGA81) සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පවත්වා තිබේ.
ඒ අනුව, නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය Shisir Khanal මහතා හමුවූ අමාත්‍ය විජිත හේරත් මහතා, දෙරට අතර හවුල් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම, වඩාත් සමීප සහයෝගීතාවක් ඇති කර ගැනීම සහ පොදු දේශගුණික අභියෝගවලට මුහුණදීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයන් පිළිබඳව සාකච්ඡා කළ අතර, මෑතකදී නේපාලයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් අනතුරුව එරට රජය සහ ජනතාව වෙත සිය සහයෝගීතාව හා යථා තත්ත්වයට පත්වීමේ කටයුතු සඳහා සුබ පැතුම් ද පළ කළේය.
ඉන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා සමඟ සුහද සහ සාධනීය අදහස් හුවමාරුවක නිරත වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම, ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා ප්‍රයත්නවල ප්‍රගතිය පිළිබඳව ඔහු දැනුවත් කළ අතර, සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ද එහිදී සාකච්ඡා කළේය.
එසේම, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් පිළිබඳ උප මහලේකම් Jean-Pierre Lacroix සහ මෙහෙයුම් සහාය පිළිබඳ උප මහලේකම් Atul Khare යන මහත්වරුන් හමුවූ අමාත්‍යවරයා, ගෝලීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ කැපවීම යළි අවධාරණය කළ අතර, ජාතික මානව හිමිකම් පරීක්ෂණ යාන්ත්‍රණයේ (NHRSM) ප්‍රගතිය පිළිබඳව ද Jean-Pierre Lacroix මහතාව දැනුවත් කළේය.
මීට අමතරව, ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය Seyed Abbas Araghchi හමුවූ අමාත්‍ය විජිත හේරත් මහතා වත්මන් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින්, කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කර ගැනීමත්, සංවාදය සහ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ගැටලු සාමකාමීව විසඳා ගැනීමත් සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය යළි අවධාරණය කළේය.
තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය අතිගරු Sheikh Abdullah bin Zayed Al Nahyan හමුවූ අමාත්‍යවරයා, වෙළෙඳාම, ආයෝජන, සංචාරක, ශ්‍රම සහයෝගීතාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සුබසාධනය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන අවස්ථා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පවත්වන ලදී.



























































