
යුක්‍රේනය සහ ඉරාන-ගල්ෆ් කලාපය ආශ්‍රිතව පවතින යුද උණුසුම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකය පුරා දැවැන්ත ආහාර අර්බුදයක් මෙන්ම උග්‍ර පොහොර හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් අනතුරු අඟවයි.
ඉන්ධන, ආහාර, පොහොර සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි ඇතිවී තිබෙන මෙම බලපෑම හේතුවෙන් ගෝලීය දකුණ ලෙස හැඳින්වෙන සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් දැඩි පීඩනයකට ලක්වී ඇති බවද ඔහු පවසයි.
නිව්යෝර්ක් නුවර පැවැති Asia Society සංවාදශීලී හමුවකට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මෙම ගැටුම් ද්විත්වය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන්ට දැවැන්ත මෙන්ම අහිතකර බලපෑමක් එල්ල කර ඇති බවය.
විශේෂයෙන්ම බොරතෙල් සැපයුම, ඉහළ යන වෙළෙඳපොළ මිල ගණන් සහ ඒ ආශ්‍රිතව මතුවිය හැකි ගෝලීය නොසන්සුන්තාව පිළිබඳවද ඔහු එහිදී සිය කනස්සල්ල පළකර තිබේ.
බලශක්ති ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බවත්, දැනටමත් අර්බුදකාරී මට්ටමක පවතින ගෝලීය තෙල් වෙළෙඳපොළ තුළ විවිධ පාර්ශ්වයන් දේශපාලන වාසි තැකීමට යාමෙන් තත්ත්වය තවදුරටත් සංකීර්ණ වන බවත් ඔහු සඳහන් කරයි.
ලොව ප්‍රධානතම පොහොර නිෂ්පාදකයන් පිහිටා ඇති බටහිර ආසියානු කලාපයේ සහ රුසියාවේ නිෂ්පාදන කටයුතුවලට එල්ලවී ඇති බාධා හමුවේ ඉදිරියේදී ලෝකය පුරා උග්‍ර පොහොර හිඟයක් නිර්මාණය වීමේ අවදානමක්ද පවතින බව ඔහු පෙන්වා දෙයි.





















































