
මෙරට ලක්ෂ 6ක ජනතාවකට තවමත් සුරක්ෂිත හෝ අර්ධ ස්ථිර නිවාස නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
'ජනාවාස සිහිනය හා ජනතා අපේක්ෂා' යන තේමාව යටතේ අද (30) පැවති අද දෙරණ "BIG FOCUS" වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් මස සිදුකරන ලද දත්තවලට අනුව මෙරට පවුල් ලක්ෂ 61ක් ජීවත් වන අතර නිවාස ඒකක ලක්ෂ 60ක් පමණක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අතර එම සංගනනය ද නිවැරදිව සිදු කිරීමට අපහසු වූ බවද ඔහු පැවසීය.
එහිදී ඇතැම් පවුල් සඳහා නිවාස දෙක බැගින් පැවතුණද, එ් අතර පවතින ඇතැම් නිවාස ජීවත්වීමට සුදුසු මට්ටමක නොමැති බවද ඔහු සඳහන් කළේය.
මෙම නිවාස අර්බුදයට විසඳුම් ලෙස රජය විසින් නිවාස 31,000ක විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, එහි පළමු අදියර යටතේ නිවාස 19,000ක් අලුතින්ම ඉදිකිරීම හෝ දැනට පවතින නිවාස නැවත අලුත්වැඩියා කිරීම සිදු කරන බව පැවසීය.
එම නිවාස 19,000 අතුරින් නිවාස 12,000ක් පමණ රජයේ පූර්ණ ආධාර යටතේ අලුතින්ම ඉදිකිරීමට නියමිත අතර, ඉතිරි කොටස සහනදායී ණය ආධාර යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
"එහිදී මේ වන විට නිවාස 20,000ක වැඩ අවසන් කෙරෙමින් පවතිනවා. සමහර ඒවා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පටන් ගත්ත ඒවායි අපි වැඩ අවසන් කරලා තියෙනවා. තව සමහර ඒවා වැඩ අවසන් වෙන්නේ ලබන අවුරුද්දේ දිහාට මේ අවුරුද්දේ මුදල් වෙන් කරලා ඉදිවෙමින් තියෙනවා.ඊට අමතරව අපි මෙතනට එකතු කරලා නෑ රජයේ නිලධාරීන්ට රජයේ සේවකයන්ට නිවාස ණයක් ගන්න අපි සහනයක් දීලා තියෙනවා. ඒ වගේම පිටරට සේවයේ යෙදෙන ප්‍රජාව නිවාස සහන ණය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩසටහනත් ඇතුළත් නැතුව තමයි මේ නිවාස 31,000 එන්නේ. මේවන විට විශාල ප්‍රමාණයක් ඉදි වෙමින් තියෙනවා. ඔත්තොබර් 5 වෙනිදාට අපි නිවාස 5,000ට වැඩි ප්‍රමාණයක් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා"





















































