
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලගොල්ල වතුයායේ නව නිවාස 51ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (29) සිදු කෙරිණි.
ඉන්දියානු රජයේ ආධාර සහ මෙරට රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ නිවාස 10,000ක වැඩසටහන යටතේ මෙය සිදු කර තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණු අතර ඊට මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර මහ කොමසාරිස්වරියද එක්ව සිටිහය.
මලයගම් ප්‍රජාවට සුරක්ෂිත, ගුණාත්මක සහ ගෞරවනීය නිවාස පහසුකම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ, නායයෑමේ අධි අවදානම් කලාපයක ජීවත් වෙමින් වසර 13කට අධික කාලයක් පුරා අනාරක්ෂිත තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් 51ක් සඳහා නව නිවාස ඉදිකිරීම ආරම්භ කෙරිණි.
දීර්ඝ කාලයක් පුරාවට නායයෑමේ අවදානම හේතුවෙන් අසීරු තත්ත්වයන් යටතේ ජීවත් වූ මෙම පවුල් සඳහා සුරක්ෂිත නිවාස පරිසරයක් සහ ගෞරවනීය ජීවන තත්ත්වයක් උරුම කරදීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
මෙහි එක් නිවාස ඒකකයක් සඳහා ඉන්දියානු රජය විසින් රුපියල් ලක්ෂ 28ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන අතර, අමතර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් එක් නිවාසයක් සඳහා රුපියල් ලක්ෂ 4ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඒ අනුව එක් නිවාස ඒකකයක සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 32කි.





















































