
පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ බැංකොක් නගරයේ මතු වූ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුණද, තායි එයාර්වේස් ගුවන් සේවයට සාමාන්‍ය පරිදි ගුවන් ගමන් පවත්වාගෙන යාමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.
ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී චායි ඒම්සිරි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, බැංකොක් නගරයෙන් පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වලින් 30%ක් පමණ එනම් ගුවන් ගමන් 30ක් පමණ අද (29) දින අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවය.
මෙම ගුවන් ගමන් කප්පාදුව අවම වශයෙන් දින තුනක්වත් ක්‍රියාත්මක වනු ඇති බව සඳහන් වේ.
පසුගිය දින දෙක තුළ ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වලින් 100%ක්ම ප්‍රමාද වී ඇති අතර, මෙහෙයුම් ධාරිතාව පවත්වාගත නොහැකි වීම හේතුවෙන් නියමිත වෙලාවට ගමන් කර ඇත්තේ 3%කටත් වඩා අඩු ප්‍රමාණයකි.
පසුගිය සතියේ දින දෙකක් හෝ තුනක් ඇතුළත බැංකොක් නගරයට මිලිමීටර් 320ක පමණ වර්ෂාවක් පතිත වී ඇත.
එය සැප්තැම්බර් මාසය පුරා සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාවට ආසන්න ප්‍රමාණයකි. සැප්තැම්බර් 16 වැනි දින සිට පළාත් 42ක හටගත් මෙම වර්ෂාව හා ගංවතුර හේතුවෙන් බැංකොක් නගරයේ සිව්දෙනෙකු ඇතුළුව තායිලන්තය පුරා අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉදිරි දින තුන තුළ වර්ෂාව නොපැවතුනහොත් බැංකොක් නගරයේ ගංවතුර ජලය බැස යනු ඇතැයි අපේක්ෂා කරයි.
සති අන්තයේ පැවති අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද බැංකොක් හි ප්‍රධාන ගුවන් තොටුපළවල් අඛණ්ඩව ක්‍රියාත්මක වුවද, ඇතැම් ගුවන්තොටුපළවල බෑග් කළමනාකරණ කටයුතුවලට දැඩි බලපෑම් එල්ල විය.
තායි එයාර්වේස් ගුවන් සේවයේ බිම් මෙහෙයුම් සඳහා සහය වීම පිණිස සඳුදා දින තායි ගුවන් හමුදා සෙබළුන් 69 දෙනෙකු යෙදවීමට පවා සිදුව ඇත.
මේ වන විට ගුවන් තොටුපළේ සිරවී ඇති තායි එයාර්වේස් මගී බෑග් 5,600ක් පමණ පැය 72ක් ඇතුළත සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බව ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කළේය.
අගංවතුරෙන් සිදුවූ බලපෑම් අවම කිරීම සඳහා තායිලන්ත කැබිනට් මණ්ඩලය අමෙරිකානු ඩොලර් මිලියන 119ක මුදලක් අනුමත කර ඇති බව සඳහන් වේ.
මීට අමතරව බාට් බිලියන 160ක දිගුකාලීන ජලාපවහන ව්‍යාපෘතියකටද අනුමැතිය හිමි වී තිබේ.
කර්මාන්ත අමාත්‍ය වරාවුත් සිල්පා-ආර්චා මහතා පවසන පරිදි, පළාත් 40ක් පුරා පැතිරුණු කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා 52ක් ඇතුළුව ව්‍යාපාර 1,267කට ගංවතුරෙන් බලපෑම් එල්ල වී ඇති අතර, සමස්ත රටේ සිදුව ඇති ආර්ථික හානිය අමෙරිකානු ඩොලර් මිලියන 320 ඉක්මවන බවට ඇස්තමේන්තු කර ඇත.





















































