
අමෙරිකා එක්සත් ජනපදය විසින් නිපදවනු ලබන ආයුධ මිලදී ගැනීමට කැමැත්ත පළ කරන්නේදැයි තමා චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් විමසූ බවට පළවන වාර්තා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
චීනය සඳහා වන අමෙරිකානු තානාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් පළවූ වාර්තාවලට පිළිතුරු දෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
චීනය සඳහා වන අමෙරිකානු තානාපති David Perdue විසින් පසුගිය ඉරිදා Fox News නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මෙම සුවිශේෂී යෝජනාව චීන ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය.
David Perdue වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අමෙරිකාව විසින් තායිවානයට ගුවන් යානා ඇතුළු යුද ආයුධ අලෙවි කිරීම සම්බන්ධයෙන් චීනය දැක්වූ කනස්සල්ලට පිළිතුරු වශයෙන්, පසුගිය සතියේ පැවැති නිල හමුවේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම යෝජනාව කළ බවය.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, "මම ඒ ගැන අසා නැහැ, මට ඒ ගැන තානාපතිවරයාගෙන් විමසීමට සිදුවෙනවා" යනුවෙනි.
තවදුරටත් අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අමෙරිකාව සතුව චීනයට වඩා උසස් තත්ත්වයේ යුද උපකරණ ඇති නිසා සමහර විට ඔවුන් ඒවා මිලදී ගැනීමට කැමති විය හැකි බවත්ය.





















































