
ගත වූ සති අන්තයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවර ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ.
ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉණ දක්වා ජලය පිරී තිබියදී ද ඒ හරහා ගමන් කිරීමට පවා පෙළඹී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය සතියේ දින කිහිපය තුළ මිලිමීටර් 320ක වර්ෂාපතනයක් පතිත වී ඇති අතර, එය සැප්තැම්බර් මුළු මාසය පුරා සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂා ප්‍රමාණයට ආසන්න අගයකි.
මේ නිසා බැංකොක් නුවර ජලාපවහන පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී තිබේ.
සැප්තැම්බර් 16 වැනිදා සිට ප්‍රාන්ත 41ක හටගත් මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නිවාස 580,000කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇත.
බැංකොක් නුවර පමණක් අවම වශයෙන් 5,901 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 234ක් වෙත යොමු කර ඇති අතර, ගංවතුර බැසගොස් දින 7ක් යන තෙක් ජනතාවට දිනකට ආහාර වේල් තුන බැවින් ලබාදීමට රජය පියවර ගනිමින් සිටී.
රංගසිට් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ආට් පිසාන්වානිච් පවසන පරිදි, මෙම ගංවතුර තත්ත්වය නිසා රට පුරා අවම වශයෙන් බාත් බිලියන 11ක (ඇමරිකානු ඩොලර් මිලියන 327ක) ආර්ථික හානියක් සිදුවිය හැකි අතර, තත්ත්වය පාලනය නොවුවහොත් මෙම අගය තවත් ඉහළ යා හැක.
වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 0.3%කින් පහත වැටී එය 2.1% දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අගනුවරට පමණක් සිදුව ඇති ආර්ථික හානිය බාත් බිලියන 7ක් පමණ වනු ඇතැයි තායි වාණිජ මණ්ඩල විශ්වවිද්‍යාලය සඳහන් කරයි.
බැංකොක් නුවර බැං කපි වැනි දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජලය පිරුණු වීදිවල අමාරුවෙන් ගමන් කරනු දැකගත හැකි විය. ඇතැම් වෙළෙන්දෝ පාවෙන ප්ලාස්ටික් පෙට්ටි සහ බැරල් උපකාරයෙන් ජලය මත තාවකාලික වෙළෙඳ කුටි ඉදි කරමින් තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යති.
මුහුදු මට්ටමේ සිට මීටර් 1.5ක් පමණ උසින් පිහිටි සහ මෘදු මැටි ස්ථරයක නිර්මාණය වී ඇති බැංකොක් නුවර, වසරකට මිලිමීටර් කිහිපයකින් මුහුද මට්ටමට යටවෙමින් පවතින නගරයකි.
මිලියන 8.4කට අධික ජනගහනයක් ජීවත් වන මෙම නගරයේ මාස හයක වැසි සමය තුළ මෙවැනි ගංවතුර තත්ත්වයන් නිරන්තරයෙන්ම වාර්තා වේ.





















































