
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතය සීඝ්‍රයෙන් වර්ධනයවීම හේතුවෙන් පීඩනයට ලක්වී ඇති චීන ශ්‍රම වෙළඳපොළ හමුවේ, රැකියා සොයාගැනීමට නොහැකිව වාර්තාගත විශ්වවිද්‍යාල උපාධිධාරීන් පිරිසක් දැඩි අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තා වෙයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාසයේදී චීනයේ නාගරික තරුණ රැකියා වියුක්ති අනුපාතය තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, සිසුන් හැර වයස අවුරුදු 16 ත් 24 ත් අතර තරුණ තරුණියන්ගේ රැකියා වියුක්ති අනුපාතය ජූලි මාසයේ පැවති සියයට 17.9 සිට අගෝස්තු මාසයේදී සියයට 18.9 දක්වා ඉහළ ගොස් ඇත.
අගෝස්තු මාසයේ වාර්තා වූ මෙම සියයට 18.9 ක අනුපාතය සංශෝධිත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසු වාර්තා වූ ඉහළම රැකියා වියුක්ති අගයන්ගෙන් එකක් බවද පැවසෙයි.
තරුණ රැකියා වියුක්තිය ඉහළ යාම, නැගී එන AI තාක්ෂණය වැනි කරුණු හේතුවෙන් රැකියා අවස්ථා අහිමි වේ යැයි තරුණ ප්‍රජාව තුළ පවතින බිය තවදුරටත් උග්‍ර වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



















































