
වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඉදිරියේදී මානව පාලනයෙන් ගිලිහී යාම සහ ජාත්‍යන්තර ආරක්‍ෂාවට තර්ජනයක් වීම වැළැක්වීම සඳහා ගෙන යා යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ AI ආයතනවල ප්‍රධානීන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ පෙනී සිටීමට නියමිතය.
මෙම සැසිවාරය සඳහා OpenAI ප්‍රධානී සැම් අල්ට්මන් (Sam Altman), Anthropic ප්‍රධානී ඩාරියෝ අමෝඩෙයි (Dario Amodei) සහ Hugging Face සම-නිර්මාතෘ ක්ලේමන්ට් ඩෙලැන්ග් (Clément Delangue) ඇතුළු ප්‍රධානීහු සහභාගී වෙති.
ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ඇල්ගොරිදම එකිනෙක ගැටීමෙන් හදිසි ගැටුම් තත්ත්වයක් ඇති විය හැකිද යන්න සහ ජාත්‍යන්තර ආරක්ෂාවට එල්ල විය හැකි ප්‍රායෝගික අවදානම් මඟහරවා ගැනීම මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වේ.
කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීමට කිසිදු ගෝලීය සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තමන් එකඟ නොවන බවත්, කාර්මික විප්ලවයටත් වඩා විශාල වන මෙම තාක්ෂණයේ වර්ධනයට බාධා නොකර, අධිකරණ දෙපාර්තමේන්තුව හරහා එය සමීපව නිරීක්ෂණය කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් වන අමෙරිකාව සහ චීනය ඇතුළු රටවල් AI ආශ්‍රිත ජාතික ආරක්ෂක ගැටලු සහ තර්ජන පිළිබඳව එකිනෙකා දැනුවත් කිරීමේ පද්ධතියක් සකස් කිරීම සාකච්ඡා කරමින් සිටී.
තාක්ෂණයේ වේගවත් වර්ධනය නොසළකා හැරිය නොහැකි බව පවසන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් (António Guterres) කෘත්‍රිම බුද්ධිය සඳහා ගෝලීය පාලනයක් අවශ්‍ය බව දිගින් දිගටම අවධාරණය කර ඇත.
කැනේඩියානු AI විශේෂඥ යොෂුවා බෙන්ජියෝ (Yoshua Bengio) ද මෙහිදී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතය.
තාක්ෂණය පාලනයෙන් තොර "පාලනය කළ නොහැකි අශ්වයකු" (runaway horse) බවට පත්වීම වැළැක්වීම සඳහා ලෝක නායකයන් මෙලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සාකච්ඡා පවත්වමින් සිටී.


















































