
දකුණු අප්‍රිකාවේ ඩර්බන් (Durban) නගරය ආසන්නයේ පිහිටි නිවසක සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (22) අඟහරුවාදා රාත්‍රියේ නිවසක් තුළ 14 දෙනෙකුගෙන් යුත් පිරිසක් සාදයක් පවත්වමින් සිටියදී ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් තිදෙනෙකු එහි පැමිණ පිරිසට වෙඩි තබා ඇත.
10 දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර, රෝහල්ගත කළ 4 දෙනාගෙන් එක් අයෙකු පසුව මියගොස් ඇත.
මියගිය පිරිස අතර ගැබිනි කාන්තාවක්ද සිටින බව වාර්තා වේ.
මෙතෙක් පැහැදිලි හේතුවක් අනාවරණය වී නොමැති අතර, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර පැවති ආරවුලක් මෙයට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
තුවාල ලැබූ සහ මියගිය ඇතැම් පුද්ගලයින් නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ යටතේ සිටි අය බව සඳහන් වේ.
ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන් පලා යාමට පෙර, මියගිය අයෙකුට අයත් මෝටර් රථයකටද ගිනි තබා ඇති බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.


















































