
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක 'සුභග', 'තාක්ෂණවේදය' සහ 'සුජාත දියණි' ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ ගෙවනු ලබන මුදල් සහ ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය වැඩිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා කාලීනව සිදුකළ යුතු වෙනස්කම් හා අදාළ දීමනාව ලබන සිසු සිසුවියන් වැඩි කිරීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
ඒ අනුව ලබන වසරේ සිට මාසිකව ගෙවනු ලබන රුපියල් 750 දීමනාව රුපියල් 1,500ක් දක්වාත්, ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය 950 සිට 1,000 දක්වාත් වැඩි කිරීමටත් ඇති හැකියාව පිළිබඳ මෙන්ම සියලු ගෙවීම් ජනාධිපති අරමුදල මඟින් සිදු කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.
එමෙන්ම සිසු සිසුවියන් වෙනුවෙන් ගෙවීමට නියමිත හිඟ ශිෂ්‍යාධාර කඩිනමින් ගෙවා නිම කිරීමටත් මෙහිදී තීරණය කර ඇත.





















































