
ලබන වසරේ සිට "සුභග", “සුජාත දියණි” සහ “තාක්ෂණවේදය” ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ මාසිකව ගෙවනු ලබන දීමනාවල අගයන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
“සුජාත දියණි” සහ “තාක්ෂණවේදය” ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ මාසිකව ගෙවනු ලබන රුපියල් 750 දීමනාව රුපියල් 1500ක් දක්වාත්, ලබාදෙන ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය 950 සිට 1,000 දක්වාත් වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම සියලු ගෙවීම් ජනාධිපති අරමුදල මඟින් සිදුකිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
එසේම සිසුසිසුවියන් වෙනුවෙන් ගෙවීමට නියමිත හිඟ ශිෂ්‍යාධාර කඩිනමින් ගෙවා නිම කිරීමටත් මෙහිදී තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා කාලීනව සිදුකළ යුතු වෙනස්කම් හා අදාළ දීමනා සිසුසිසුවියන් වැඩි පිරිසකට ලබාදීමටත් හැකිවන පරිදි ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
















































