
ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්වයත් සමඟ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.
ඊයේ (21) පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ එකම පවුලේ ඥාතීන් පිරිසක් ගිනිගත්හේන නගරයේ සිට රෝහල් මාවතේ පිහිටි තම නිවස බලා ගමන් කරමින් සිටියදීය.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ගස කඩා වැටීමෙන් ඔවුන්ගෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.
කෙසේ වෙතත්, අනතුරත් සමඟ ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ත්‍රීරෝද රථයේ රියදුරා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසීය.
මෙම අනතුරින් ත්‍රීරෝද රථයට මෙන්ම ආසන්නයේ තිබූ දුරකථන කණුවකට සහ රැහැන් පද්ධතියකට ද හානි සිදු වී ඇත.



















































