
හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.
ලංකා පොස්පේට් සමාගම මඟින් විධිමත් පටිපාටියෙන් බාහිරව තෝරාගත් සමාගම් 3ක් පමණක් පොස්පේට් අපනයනය සඳහා පහසුකම් සැලසීමේ සිද්ධියකට අදාළව, රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නිලධාරීන් කණ්ඩායම ඊයේ (21) ප.ව. 4.55ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ලංකා පොස්පේට් සමාගම හරහා නියමිත රාජ්‍ය විධිවිධාන අනුගමනය කිරීමකින් තොරව තෝරාගත් සමාගම් තුනක් වෙත පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු යොදා දී, ඊට අදාළ අපනයන බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන් අදාළ සමාගම්වලින් මෙම මුදල ඉල්ලා ලබාගෙන ඇති බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාය.
අත්අඩංගුවට ගත් සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය පියවර ගැනීම සඳහා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



















































