
සෞදි අරාබියේදී මරණඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් රජතුමා වෙත විශේෂ ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීමට අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය (ACMC) පියවර ගෙන තිබේ.
මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබි රාජකීය තානාපති කාර්යාලය හරහා මෙම මානුෂීය ඉල්ලීම සෞදි රජතුමා වෙත යොමු කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය, ජාතික සූරා සභාව සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය වෙත ද ලිඛිතව ඉල්ලීම් කර ඇති බව සඳහන් වෙයි.
සිවරාසා අනෝජන් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මුහුණ දී සිටින අසීරු තත්ත්වය පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බවත්, ඔහුට සහ එම පවුලට සහන සැලසීම වෙනුවෙන් පවතින සියලුම නිත්‍යානුකූල හා රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ උපරිම උත්සාහ ගන්නා බවත් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.



















































