
ජපානයේ නිෂින් හිදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (20) සමත් විය.
තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය කාන්තා කණ්ඩායම ලකුණු 114ක දැවැන්ත පරාජයකට ලක්කර මෙම අවස්ථාව උදාකරගැනීමට ඉන්දීයට කණ්ඩායමට හැකිවිය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 195ක් රැස් කළේය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ෂෆාලි වර්මා පන්දු 49කදී නොදැවී ලකුණු 100ක් රැස්කළ අතර, නායිකා හර්මන්ප්‍රීත් කෝර් කණ්ඩායමට ලකුණු 40ක් එක්කළාය.
කෙසේ නමුත් ලකුණු 196ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 15.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 81ක් පමණි.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නන්දානි ෂර්මා සහ දීප්ති ෂර්මා කඩුලු 3 බැගින් බිඳළූහ.
මෙම ජයත් සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ඉන්දීය කාන්තා කණ්ඩායම, අනිද්දා (22) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.



















































