
කෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ ආරක්ෂිතභාවය පිළිබඳ පැවැත්වුණු පරීක්ෂණයකදී, ගූගල් සමාගමට අයත් Gemini AI මාදිලිය වෙනත් සමාගම්වලට අයත් වෙබ් අඩවි තුනකට අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේ.
ස්වාධීන ආරක්ෂක ඇගයීම් සමාගමක් වන Irregular විසින් පසුගිය මැයි මාසයේදී පවත්වන ලද සයිබර් ආරක්ෂණ පරීක්ෂණයකදී මෙම සිදුවීම සිදුව ඇත.
එහිදී Gemini AI පද්ධතිය අන්තර්ජාලයේ තිබූ ප්‍රසිද්ධ තොරතුරු සහ රහස්‍ය දත්ත සොයා ගනිමින්, මුරපද අනුමාන කරමින් අදාළ වෙබ් අඩවිවලට මෙලෙස අනවසරයෙන් ඇතුළු වී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ගූගල්හි සයිබර් ආරක්ෂණ ඉංජිනේරු අංශයේ උප සභාපති Heather Adkins සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සමාගම් ත්‍රිත්වය දැනුවත් කළ බවත්, AI පද්ධති වගකීම් සහගතව හැසිරීමට පුහුණු කිරීමේ වැදගත්කම මෙමගින් පෙනී යන බවත්ය.
මෙවැනි වූ සිදුවීම් Meta, Anthropic සහ OpenAI යන අනෙකුත් ප්‍රමුඛ පෙළේ AI සමාගම්වල පද්ධති සම්බන්ධයෙන්ද වාර්තා වී ඇත.
කෙසේවෙතත් Irregular සමාගම ප්‍රකාශ කරන්නේ සයිබර් ආරක්ෂණ පරීක්ෂණ සිදු කිරීමේදී ඇති වූ මෙම ගැටලු මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇති බවය.



















































