
ත්‍රිකුණාමලය, අනුරාධපුර හන්දිය ආසන්නයේ පිහිටි මත්පැන් අළෙවිසැලකට ඇතුළු වී ටී-56 වර්ගයේ ගිනිඅවියක් පෙන්වා බියගන්වා මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය පොලීසිය සමත්ව තිබේ.
ඊයේ (18) රාත්‍රී 9:45ට පමණ යතුරුපැදියකින් පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා අදාළ මත්පැන් හලට ඇතුළු වී ගිනිඅවිය පෙන්වා මුදල් කොල්ලකා පලා ගොස් තිබුණි.
ඒ පිළිබඳව ලත් දුරකථන පණිවුඩයකට අනුව වහාම ක්‍රියාත්මක වූ ත්‍රිකුණාමලය පොලිසිය, උප්පුවේලි පොලිස් වසමේ පිහිටි තාවකාලික නවාතැන්පොළක සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව කිලිපුංචිමලේ ප්‍රදේශයේ පිහිටි වෙඩි බෙහෙත් ගබඩාවක රාජකාරි නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු බව අනාවරණය වී ඇත.
අවුරුදු 54 සහ 61 යන වයස්වල පසුවන හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් සන්තකයේ තිබී කොල්ලකන ලද බවට සැකකෙරෙන රුපියල් 11,500ක මුදලක්, සිද්ධියට භාවිත කළ යතුරුපැදිය, ටී-56 ගිනිඅවිය සහ පතරොම් 29ක් සහිත පතරොම් ගැබක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















































