
කෘතිම බුද්ධි සංවර්ධනය සම්බන්ධයෙන් 'අනිසි තරඟයක' නිරත වන බවට එල්ල වන චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, ගෝලීය වශයෙන් විවෘත සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කර ඇත.
මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ AI සංවර්ධනය මන්දගාමී කළ යුතු බවට ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩෙයි (Dario Amodei) කළ ඉල්ලීමක් හේතුවෙනි. කෙසේ වෙතත්, එම සංවර්ධනය මන්දගාමී කළ යුත්තේ චීනයට AI තරඟයෙන් ඉදිරියට යාමට නොහැකි වන අයුරින් බව ඔහු පෙන්වා දී තිබුණි.
පසුගිය සතිය පුරා අමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ කෘතිම බුද්ධි විද්‍යාගාරවල කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනතුරු අඟවා තිබුණේ AI මඟින් මානව වර්ගයාම විනාශ වී යා හැකි බවට පවා තර්ජනයක් පවතින බවටය.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ චීනයට වඩා වේගයෙන් තාක්ෂණය දියුණු කිරීම තමාගේ ප්‍රමුඛතාවය වන බවය.
මේ සම්බන්ධයෙන් චීනය පවසා ඇත්තේ "සියලුම පාර්ශ්වයන් එකඟ වී විවෘත සංකල්ප ඇතිව, සැමට ප්‍රතිලාභදායක සහ යහපත් අරමුණු ඉලක්ක කරගත් ආකාරයෙන් AI සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවටය.
මෙම අදහස් දැක්වීම් මගින් ලෝකයේ ප්‍රමුඛතම AI බලවතුන් දෙදෙනා අතර එකඟතාවකට පැමිණීමේ ඇති අපහසුතාව මනාව පැහැදිලි වේ.
ලෝකයේ විශාලම ආර්ථිකයන් දෙක වන ඇමරිකාව සහ චීනය උසස් තාක්ෂණයෙන් වාසි අත්කර ගැනීමට උත්සාහ කරන බැවින්, කෘතිම බුද්ධිය මේ වන විට අමෙරිකානු-චීන එදිරිවාදිකම්වල මධ්‍යස්ථානය බවට පත්ව ඇත.



















































