
ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදේදී මගීන් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අද (13) උදෑසන අතුරුදන් වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අදාළ යාත්‍රාව සමග පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී ඇති අතර, මේ වන විට අතුරුදන් වූ යාත්‍රාව සොයා සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ යාත්‍රාව සුරබයා නගරයේ සිට බන්ජර්මාසින් දක්වා ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.
හදිසියේ ඇති වූ අයහපත් කාලගුණයත් සමග යාත්‍රාවේ පාලන මැදිරිය සමග තිබූ සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
දූපත් 17,000කට වඩා සමන්විත ඉන්දුනීසියානු දූපත් සමූහය තුළ නාවික ප්‍රවාහනය ප්‍රධානතම ගමනාගමන මාධ්‍යයක් ලෙස භාවිත වේ.
ගුවන් ගමන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් සාමාන්‍ය ජනතාව වැඩිවශයෙන් අඩු පිරිවැය සහිත මුහුදු මාර්ග භාවිත කිරීමට පෙළඹී සිටිති.
කෙසේ වෙතත් එරට නාවික ක්ෂේත්‍රය තුළ ආරක්ෂිත ප්‍රමිතීන් සහ රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙවැනි මාරක අනතුරුව නිතර සිදුවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.



















































