
දකුණු සෞදි අරාබියේ පිහිටි හමුදා කඳවුරකට බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම පවසයි.
හූති හමුදා ප්‍රකාශක යහියා සාරි සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, සෞදි අරාබියේ 'ෂරූරා' හමුදා කඳවුරේ පිහිටි අවි ගබඩා සංකීර්ණ සහ පාලන මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවය.
සෞදි අරාබිය විසින් යේමනයට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙය සිදුකළ බවත්, ප්‍රහාර නතර නොකළහොත් ඉදිරියේදී භූමිය අභ්‍යන්තරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවටත් ඔහු අනතුරු අඟවා සිටී.
කෙසේ වෙතත්, හූති සංවිධානයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සෞදි බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
නමුත් සෞදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරිතදිග ජාසාන් කලාපයේ අල්-තූවාල් ප්‍රදේශයට එල්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, පල්ලියකට, ගොඩනැගිලි කිහිපයකට සහ වාහනවලට හානි සිදුව ඇති බවය.
වසර ගණනාවක නිහඬතාවයකින් පසු පසුගිය ජූලි මාසයේ සිට යේමන රජයේ හමුදා සහ හූති කැරලිකරුවන් අතර ගැටුම් නැවතත් උග්‍ර වී තිබේ.
හූති සංවිධානය මේ වන විට මෝකා වෙරළබඩ නගරය සහ එහි පිහිටි රතු මුහුදේ වරාය අත්පත් කරගනිමින් මුළු අල්-හුදෙයිඩා පළාතේම බලය තහවුරු කරගෙන ඇත.
මේ හේතුවෙන් ලෝකයේ ප්‍රධානතම සාගරික නාවික මාර්ගයක් වන 'බැබ් එල්-මන්ඩෙබ්' සමුද්‍ර සන්ධිය වෙත හූති සංවිධානයේ බලපෑම තවදුරටත් සමීප වී තිබේ.
එමෙන්ම, යේමන රජයේ හමුදා ද සවුදි සීමාවට ආසන්න උතුරු අල්-ජව්ෆ් පළාතේ ඉදිරිගමනක් සලකුණු කරමින් එහි ප්‍රධාන නගරය වන අල්-හස්ම් ආසන්නයට පැමිණ ඇත.



















































