
ගෝලීය සාගර ප්‍රවාහනයේ මර්මස්ථානයක් ලෙස සැලකෙන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධිය ආසන්න වෙරළ නගර සියල්ලම පාහේ අත්පත් කරගැනීමට යේමනයේ හූති කැරලිකරුවන් සමත්ව තිබේ.
සෞදි රජයේ සහාය ලබන යේමන රජයේ හමුදා සහ එරට සානා අගනුවර ඇතුළු කලාප රැසක බලය හොබවන හූති කැරලිකරුවන් අතර ගැටුම් ආරම්භ වූයේ මීට සතියකට පමණ පෙරය.
සානා අගනුවර පාලනය තමන් සතු කරගැනීමේ අරමුණින් රජයේ හමුදා මෙම ප්‍රහාර දියත් කළත් සිය ග්‍රහණය තවත් දැඩි කරමින් යේමනයේ රතු මුහුද ආසන්න වෙරළ නගර සියතට ගැනීමට හූති කැරලිකරුවන් සමත්වුණේ ලෝකය මවිත කරමිනි.
ඒ අනුව රතු මුහුදු වෙරළේ ප්‍රධාන නගරද ඇතුලුව කිලෝ මිටර් 130ක කලාපයක් තමන් සතු කරගැනීමට හූති කැරලිකරුවන් සමත්ව ඇති බව වාර්තා වේ.
මෙහිදී ඔවුන් සෞදියේ ඉන්ධන ඉන්දීය සාගරය වෙත යොමුකරන ප්‍රධාන සමුද්‍රසන්ධියක් වන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධියේ පිහිටි මයූන් දූපත අල්ලාගෙන ඇත.
නමුත් දූපත සිය ග්‍රහණයට ගත් කැරලිකරුවන් පවසන්නේ බාබ් අල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය සෞදි අරාබි නෞකාවලට හැර ඕනෑම නෞකාවකට යාත්‍රා කළ හැකි තරම් ආරක්ෂිත බවය.
කෙසේවෙතත් සානා අගනුවර ජනතාව එම ජයග්‍රහණය උත්කර්ෂවත් ලෙස සමරා තිබුණි.



















































