
18 වැනි BRICS සමුළුව අද (12) සහ හෙට (13) දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම් හිදී පැවැත්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් සමුළුවට එක්වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ඇතුළු නායකයින් රැසක් දැනටමත් ඉන්දියාව වෙත පැමිණ තිබේ.
එමෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද ඉන්දියාව වෙත අද පැමිණීමට නියමිතය.
2009 වසරේදී ලොව නැගී එන ආර්ථිකයන් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක්ව පිහිටුවා ගත් BRICS සංවිධානයේ වත්මන් නිත්‍ය සාමාජිකයින් ගණන 11කි.
මේ අතර BRICS සමුළුවට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවති සාකච්ඡාවකදී දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බටහිර රටවල නීතිවලින් තොරව ගෝලීය ආර්ථික වර්ධනයක් අත් කරගැනීම සඳහා BRICS සංසදය විසින් නව වේදිකාවක් ගොඩනගා ගතයුතු බවද එහිදී පුටින් ප්‍රකාශ කර තිබේ.
යුක්‍රේන සහ ඉරාන යුද ගැටුම් හේතුවෙන් නාවික හා වෙළඳ සැපයුම් දාමවලට බාධා එල්ලවී ඇති පසුබිමක් තුළ, අමෙරිකාව, ගල්ෆ් රටවල්, රුසියාව, ඉරානය සහ ඊශ්‍රායලය සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමට ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැඩි පරිශ්‍රමයක් යොදමින් සිටී.



















































