
ඉරාක සීමාවේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සෞදි අරාබිය සිය ප්‍රධානතම ඉන්ධන නළ මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
අරාබි අර්ධද්වීපය හරහා දිවෙන කිලෝමීටර් 1,200ක පමණ මෙම නළ මාර්ගය හේතුවෙන් මැදපෙරදිග යුධ තත්ත්වයත් සමග හෝමූස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවයෙන් ඉන්ධන සැපයුමට ඇති වූ බාධා මගහැර යාමට සෞදියට හැකියාව ලැබී තිබුණි.
පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම නළ මාර්ගය වසා දැමූ බවත්, ප්‍රහාරයෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර සිදුවූ අලාභහානිය තක්සේරු කරමින් පවතින බවත් සෞදි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම ප්‍රහාරය මයිසාන් ප්‍රදේශයෙන් එල්ල වී ඇති බව තහවුරු වීමත් සමඟ, ඉරාක අගමැතිවරයා එම ප්‍රදේශයේ හමුදා අණදෙන නිලධාරියා ධුරයෙන් ඉවත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
එමෙන්ම ඉරාක අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව සෞදි අරාබිය ප්‍රතිප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කර ඇති අතර, තම රටේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට තමන්ට අයිතියක් ඇති බව පවසා තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ඕමානය, කටාර් සහ කුවේට් යන රටවලින් සමන්විත ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය ද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් කියා සිටියේ මෙය සෞදි අරාබියේ ආරක්ෂාවට සහ ජාත්‍යන්තර නීතියට එල්ල වූ බරපතළ තර්ජනයක් වන බවය.
මේ අතර යේමනයේ හූති කැරලිකරුවන් විසින් එරට වෙරළබඩ තීරයේ සහ රතු මුහුදට ඇතුළු වන බැබ් අල්-මන්ඩැබ් සමුද්‍ර සන්ධියේ බලය තහවුරු කරගනිමින් සිටී.
මෙම තත්ත්වය හමුවේ ගෝලීය තෙල් ප්‍රවාහන මාර්ගයන්හි ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.



















































