
එකල චාල්ස් කුමරු තම විවාහ ජීවිතයේ විශ්වාසය බිඳුණු තැන් ප්‍රසිද්ධියේ පිළිගනිමින් කළ ප්‍රකාශයක් ඇතුළත් වාර්තා වැඩසටහනක් විකාශය වී පැය කිහිපයකට පසු, ලන්ඩනයේ පැවති සාදයකට ඩයනා කුමරිය විසින් පැළඳි "පළිගැනීමේ ඇඳුම" (revenge dress) වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එළැඹෙන දෙසැම්බර් 9 වැනිදා වෙන්දේසිකරුවන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
1994 වසරේදී සර්පන්ටයින් ගැලරිය වෙත ග්‍රීක නිර්මාණ ශිල්පිනී ක්‍රිස්ටිනා ස්ටැම්බෝලියන් විසින් විශේෂයෙන් සකස් කරන ලද කළු සිල්ක් සැඳෑ ඇඳුමකින් සැරසී ඩයනා කුමරිය කළ ආකර්ෂණීය පැමිණීම පොප් සංස්කෘතියේ අමතක නොවන සන්ධිස්ථානයක් විය.
මෙම අත් රහිත සැඳෑ ඇඳුම රාජකීය ස්වර්ණාභරණයක්, කළු පැහැති අත්බෑගයක් සහ කළු පාවහන් සමඟින් ඇය හැඩගැන්වී තිබුණි.
මීට අමතරව, ඩයනා කුමරිය එම සුවිශේෂී රාත්‍රියේ ගමන් කළ වින්ටේජ් ජගුවර් (Jaguar XJ40) මෝටර් රථය මේ වසරේ මුල් භාගයේදී පවුම් 66,250කට අලෙවි වී තිබුණි.
කෙසේ වෙතත්, මෙම 'පළිගැනීමේ ඇඳුම' ඊට වඩා බොහෝ සෙයින් ඉහළ මිලක් හිමිකර ගනු ඇතැයි විශ්වාස කෙරේ.
මීට පෙර 2023 වසරේදී නිව්යෝර්ක් හි පැවති සොතබිස් වෙන්දේසියකදී, සුදු එළුවන් පේළියක් අතර කළු එළුවෙකු නිර්මාණය කර තිබූ ඩයනා කුමරියගේ ප්‍රසිද්ධ ස්වීටරය පවුම් 920,000කට අලෙවි වී තිබීම විශේෂත්වයකි.
ප්‍රකට සොතබිස් (Sotheby's) වෙන්දේසි ආයතනය පුරෝකථනය කරන්නේ මෙම ඓතිහාසික ඇඳුම පවුම් 220,000ක පමණ ඉහළ මිලකට අලෙවි වනු ඇති බවය.
1997 වසරේදී පුණ්‍යායතන වෙනුවෙන් ඇගේ ඇඳුම් 79ක් වෙන්දේසි කිරීමෙන් අනතුරුව, මෙම ඇඳුම ප්‍රසිද්ධ වෙන්දේසියකට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වන බව සොතබිස් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.
"තම ජීවිතයේ දැඩි පීඩනයට සහ හැඟීම්බර අර්බුදයකට මුහුණදුන් මොහොතක, විලාසිතා යනු තමන්ටම ආවේණික ප්‍රබල භාෂාවක් බව ඩයනා කුමරිය සහජයෙන්ම වටහාගෙන සිටියා," යැයි සොතබිස් හි අත්බෑග් සහ විලාසිතා පිළිබඳ ගෝලීය ප්‍රධානී මෝගන් හාලිමි ප්‍රකාශ කර ඇත.



















































