
ලොව ජීවත්ව සිටින උසම අශ්වයා ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක්වීමට එංගලන්තයේ නොතැම්ප්ටන්ෂයර් හි වෙසෙන 'හියුගෝ' නමැති 'ෂයර්' වර්ගයේ අශ්වයෙකු සමත්ව තිබේ.
තවමත් අවුරුදු 4ක් පමණ වන මෙම අශ්වයා සෙ.මී. 199ක (කරපිට තෙක් උස අඩි 6.5ක් පමණ) අසාමාන්‍ය උසකින් යුක්ත බව සඳහන්.
විශේෂඥ පශු වෛද්‍යවරයකු ලවා අශ්ව ලාඩම් රහිතව සිදුකළ මිනුම්, ලේඛනගත කිරීමෙන් පසුව ගිනස් ලෝක වාර්තා සංවිධානය විසින් මෙම වාර්තාව නිල වශයෙන් තහවුරු කර ඇත.
හියුගෝ තවමත් වර්ධනය වන වියේ පසුවන බැවින් ඉදිරියේදී උස තවදුරටත් වැඩිවිය හැකි බව එම සත්ත්වයාගේ හිමිකරු පවසා තිබේ.
හියුගෝ සෞඛ්‍ය වෙනුවෙන් භෞතික චිකිත්සකයින්, දන්ත වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන් සහ සම්බාහන කරන්නන්ගේ සහාය නිරන්තරයෙන් ලැබෙන අතර, එම සත්ත්වයා ඉතා ඉහළ 'තරු පහේ' සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවද හිමිකරු වැඩිදුරටත් සඳහන් කරයි.
ෂයර් වර්ගයේ අශ්වයන් උසින් සහ විශාල ශරීර ප්‍රමාණයෙන් යුක්ත වන අතර, අතීතයේ සිටම ගොවිතැන් කටයුතු සහ බර අදින ප්‍රවාහන කටයුතු සඳහා එම සත්ත්වයින් බහුලව භාවිත කර ඇත.
ලොව මෙතෙක් වාර්තා වී ඇති උසම සහ බරින් වැඩිම අශ්වයා වන්නේ 1850 වසරේදී එංගලන්තයේ බෙඩ්ෆෝර්ඩ්ෂයර් හිදී හමුවූ 'සැම්ප්සන්' (පසුව 'මැමොත්' ලෙස හැඳින්වුණු) නමැති ෂයර් වර්ගයේ අශ්වයේක්ය. එම සත්ත්වයා මීටර් 2.19ක (අඩි 7 අඟල් 2.5) උසකින් යුක්තය.



















































