
පිලිපීනයේ මගී ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 87 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් පුවත් පවසයි.
'M/V June Aster' නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වෙරළේ සිට කිලෝමීටර 2.2ක් පමණ දුරිනි.
ගින්න හේතුවෙන් මියගිය පුද්ගලයින් පස් දෙනෙකුගේ සිරුරු මේ වන විට ගොඩබිමට ගෙනැවිත් ඇති බව වෙරළ ආරක්ෂක අංශ සඳහන් කරයි.
වෙරළ ආරක්ෂක බලධාරීන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර ඇති වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ මෙම නෞකාව සම්පූර්ණයෙන්ම ගින්නට හසූ වී ඇති බවය.
නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් 134 දෙනෙකු සිටි බව සඳහන් වේ.
මගීන් 38 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 42 දෙනෙකු මේ වන විට බේරාගෙන තිබේ.
ගැලවුම්කරුවන් සතු දත්තවලට අනුව තවදුරටත් පුද්ගලයින් 87 දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
MarineTraffic වෙතින් ලබාගත් නාවික දත්ත පෙන්වා දෙන්නේ අනතුරට ලක් වූ ‘June Aster’ නෞකාව මැනිලා නුවරින් ගමන් ආරම්භ කර ඇති බවය.

















































