
ඉරානය විසින් පසුගිය දින දෙක තුළ අමෙරිකානු යුද නෞකාවකට අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, අමෙරිකානු හමුදාව ඉරාන තෙල් නෞකා 5කට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) පවසයි.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) සම්බන්ධ ඉරාන තෙල් නෞකා 4ක් ගල්ෆ් ඔෆ් ඕමාන් ප්‍රදේශයේදී ඉලක්ක කර ඇති අතර, තවත් නෞකාවක් ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන කලාපයක් වන කාර්ග් දූපත ආසන්නයේදී ඉලක්ක කර ඇති බව සඳහන් වේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ජෝර්දාන ආරක්ෂක අංශ පවසන්නේ එල්ල කළ මිසයිල 20කින් 18ක් එරට ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කළ බවය. ඉතිරි මිසයිල දෙක ජනශුන්‍ය ප්‍රදේශවලට පතිත වී තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර මෙලෙස එකිනෙකාට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පසුගිය සතිය තුළ දැඩි ලෙස උත්සන්න වී ඇති අතර, මෙම තත්ත්වය ඇති වී ඇත්තේ අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කර මාස හයකට වැඩි කාලයකට පසුවය.
මේ අතර, ගෝලීය තෙල් වෙළෙඳපොළද මෙම ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්ව තිබේ. ආසියානු වෙළෙඳපොළේ මුල් ගනුදෙනුවලදී බ්‍රෙන්ට් බොරතෙල් මිල 1.5%කින් ඉහළ ගොස් බැරලයකට ඩොලර් 99.41ක් වූ අතර, අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් මිල 1.6%කින් ඉහළ ගොස් ඩොලර් 94.55ක් විය.
තවද, කුවේට් සහ බහරේන් වරායන්හි අමෙරිකාවට සම්බන්ධ තෙල් නෞකා තවදුරටත් ඉලක්ක කරන බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ නාවික අණදෙන නිලධාරීන් අනතුරු අඟවා තිබේ.
ඔවුන් එම නෞකා කාර්ය මණ්ඩලයට වරායන්වල හෝ නැංගුරම් ලා ඇති ස්ථානවලින් “වහාම ඉවත් වන ලෙස” දැනුම් දී ඇති අතර, එසේ නොකළහොත් නෞකා ඉලක්ක කරන බවට අනතුරු අඟවා ඇත.

















































