
අද (07) දින කොළඹ සහ ජකර්තා අතර ක්‍රියාත්මක කිරීමට තිබූ ශ්‍රීලන්කන් ගුවන්ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
ඒ ඉන්දුනීසියාවේ 'අනක් ක්‍රකටාවූ' (Mount Anak Krakatau) ගිනිකන්ද සක්‍රීය වීමෙන් එහි අළු සහ පාෂාණ ධූලි අහසට මුසුවීම හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා එල්ල වීම හේතුවෙනි.
කොළඹ සිට ජකර්තා දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ UL 364 ගුවන්යානය සහ ජකර්තා සිට කොළඹ දක්වා පැමිණීමට තිබූ UL 365 ගුවන්යානය මෙලෙස අවලංගු කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.
මේ අතර, ගිනිකඳු අළු සහ සිලිකා සහිත පාෂාණ කැබලි වායුගෝලයට එක්වීම නිසා ගුවන් යානා එන්ජින් සහ පාලන පද්ධතිවලට දැඩි අවදානමක් එල්ල විය හැකි බැවින්, ඉන්දුනීසියානු සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් ජකර්තාහි සුකර්නෝ-හත්තා (Soekarno-Hatta) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ගුවන්තොටුපොළ කිහිපයක මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇත.
ඊට අමතරව, ශ්‍රී ලංකාව දෙසට දිවෙන බටහිර ගුවන් කොරිඩෝව හරහා සිදුකරන ගුවන් ගමන් සඳහා ද සීමා පනවා තිබේ.
මෙම තත්ත්වය හමුවේ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් යානා දෙකක් ද බලපෑමට ලක්වූ ගුවන් කලාපය මඟහැරීම සඳහා ඊයේ රාත්‍රියේ වෙනත් ගුවන් මාර්ග වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.


















































