
ඉන්දුනීසියාවේ පිහිටි 'අනක් ක්‍රකටාවු' (Anak Krakatau) ගිනිකන්ද සක්‍රිය වී පුපුරා යාම හේතුවෙන් ජකර්තා නුවර ප්‍රධාන ගුවන්තොටුපළේ ගුවන් ගමන් සිය ගණනක් අත්හිටුවීමට සිදුව තිබේ.
මීට අමතරව ප්‍රදේශයේ පාසල් සහ ධීවර කටයුතු ද තාවකාලිකව නතර කර ඇත.
පරිසරයට මුසු වූ ගිනිකඳු අළු හේතුවෙන් ජකර්තා හි 'සෝකර්නෝ-හට්ටා' ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ජාත්‍යන්තර සහ දේශීය ගුවන් ගමන් 209ක් තාවකාලිකව අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ගිනිකන්දෙන් නිකුත් වූ අළු සහ දුම් රොටු අඩි 20,000 (මීටර් 6,000) සිට අඩි 50,000 (මීටර් 15,000) තරම් ඉහළ අහසට පැතිර ගොස් ඇති බව ඉන්දුනීසියානු කාලගුණවිද්‍යා ආයතනය සඳහන් කරයි.
ගිනිකඳු අළු නිසා ඇස්වල දැවිල්ල ඇතිවීම හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කිහිපයක් වසා දමා ඇති අතර, ධීවරයින් ද මුහුදු යාමෙන් වැළකී සිටියි.
මහජනතාවට සන්සුන්ව හා විමසිලිමත්ව සිටින ලෙසත්, එළිමහනට යන විට මුඛ හා ඇස් ආවරණ භාවිතා කරන ලෙසත් ආපදා කළමනාකරණ ආයතනය (BNPB) දැනුම් දෙයි.
දැනට පවතින තත්ත්වය අනුව සුනාමි අවදානමක් නොමැති බව බලධාරීන් තහවුරු කර ඇත.
භූමිකම්පා සහ ගිනිකඳු බහුල පැසිෆික් "ගිනි වළල්ල" (Ring of Fire) කලාපයේ පිහිටි මෙම ගිනිකන්ද 2018 වසරේදී ද දැවැන්ත ලෙස පුපුරා ගිය අතර, එමගින් ඇතිවූ සුනාමියෙන් සිය ගණනක් ජීවිතක්ෂයට පත් විය.

















































