
යුක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා ඕනෑම අයුරකින් සහාය වීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පවසා ඇත්තේ යුක්‍රේන අගනුවර වන කියෙව් නුවර වෙත ළඟා වීමෙන් අනතුරුවය.
යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් පවසා ඇත්තේ යම් හෙයකින් ඉන්දියාවට කිසියම් ආකාරයකින් හෝ උපකාර කළ හැකි නම්, ඒ සඳහා ඕනෑම මොහොතක සූදානම් යනුවෙනි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයෙකු යුක්‍රේනයේ සිදුකරන පළමු නිල ද්විපාර්ශ්වික සංචාරය ලෙස මෙම සංචාරය හඳුන්වමින් යුක්‍රේන විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාව ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබුණි.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ ඉන්දියාව ගෝලීය බලවතෙකු බවත් යුද්ධයේ අවසානය කරා ගමන් කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ කැපවීම අගය කරන බවත්ය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම යුක්‍රේන සංචාරය සිදුවන්නේ, ඔහු රුසියානු විදේශ ඇමති ලැව්රොව් සමඟ මොස්කව් නුවරදී පැවැති වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගිතාව පිළිබඳ ඉන්දු-රුසියා අන්තර් රාජ්‍ය කොමිෂන් සභාවේ 27 වැනි සැසියට සහභාගී වී සතියකට පමණ පසුවය.

















































