
නූතන අභ්‍යවකාශ යානා විදුලි සංඥා, පරිගණක පද්ධති සහ නාවික පද්ධති (GPS/Navigation systems) මත පදනම්ව ක්‍රියාත්මක වුවද, හදිසි අවස්ථාවකදී ගගනගාමීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තවමත් විශ්වාසය තැබිය හැකි තාක්ෂණයක් ලෙස වසර 300 කට වඩා පැරණි සෙක්ස්ටන්ට් (Sextant) උපකරණය අවධානයට ලක්ව තිබේ.
සෙක්ස්ටන්ට් උපකරණය යනු කුමක්ද?
18 වන සියවසේ මුහුදු ගමන් සඳහා නිර්මාණය කරන ලද සෙක්ස්ටන්ට් යනු තාරකා, සූරිය සහ ග්‍රහලෝක අතර කෝණික පරතරය මැනීම සඳහා භාවිත කරන යාන්ත්‍රික උපකරණයකි.
අතීතයේ නාවිකයන් සගරයේ මග සෙවීමට මෙය භාවිත කළ අතර, විදුලි බලය හෝ පරිගණක පද්ධති කිසිවක් නොමැතිව වුවද තාරකා දෙස බලා පිහිටීම නිවැරදිව තීරණය කිරීමට මෙයින් හැකියාව ලැබේ.

අභ්‍යවකාශයට සෙක්ස්ටන්ට් තාක්ෂණය පැමිණි හැටි
ඇපලෝ (Apollo) චන්ද්‍ර මෙහෙයුම්වලදී පරිගණක අක්‍රිය වීම් හෝ සංඥා බිඳවැටීම් සිදුවුවහොත් භාවිත කිරීම සඳහා ආරක්ෂිත නාවික ක්‍රමවේදයක් ලෙස සෙක්ස්ටන්ට් පද්ධති ඇතුළත් කර තිබුණි.
ඇපලෝ 13 යානයේ ඇති වූ මාරාන්තික අනතුරේදී, පරිගණක පද්ධති ක්‍රියා විරහිත වූ අතර ගගනගාමී ජිම් ලවෙල් විසින් සෙක්ස්ටන්ට් උපකරණය භාවිතයෙන් අභ්‍යවකාශ යානයේ ගමන් මාර්ගය නිවැරදි කරගනිමින් ආපසු පෘථිවියට පැමිණීමට මග පාදා ගන්නා ලදී.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සහ ඉදිරි සඳ හෝ අඟහරු වෙත යන ඔරායන් වැනි දීර්ඝ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මේ වන විට නැවතත් සෙක්ස්ටන්ට් උපකරණ පරික්ෂා කරමින් පවතී.
සයිබර් ප්‍රහාර, පරිගණක පද්ධති අක්‍රිය වීම්, විකිරණ මගින් ඉලෙක්ට්‍රොනික උපාංග විනාශ වීම් හෝ පෘථිවිය සමග ඇති සන්නිවේදනය පූර්ණ ලෙස බිඳවැටෙන අවස්ථාවකදී ගගනගාමීන්ට පෘථිවිය වෙත ආරක්ෂිතව පැමිණීමට ඇති එකම ස්වාධීන යාන්ත්‍රික විකල්පය වන්නේ මෙම අවුරුදු 300ක් පැරණි සෙක්ස්ටන්ට් තාක්ෂණය බවද සඳහන්.

















































