
භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල දන්ත වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව (MBBS) සහ භෞත චිකිත්සාව ඇතුළු සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා ලබාදීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා භූතාන සිසුන්ට අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවී ඇත.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතාන අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා අතර ඊයේ (03) පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමුවී තිබේ.
2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල භූතානයේ සංචාරයක නිරතව සිටී.
ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේ රජයන් අතර සෘජු සම්බන්ධීකරණය වැඩිදියුණු කරමින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල නව සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් අවධාරණය කර තිබේ.
එමෙන්ම, දෙරටේ සිසුන්, අධ්‍යාපනඥයින් සහ අධ්‍යාපන ආයතන සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවී ඇත.
අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.
එම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ලේකම් මට්ටමින් ප්‍රධානත්වය දරන ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමට ද එකඟතාව පළවී ඇත.
විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම, අධ්‍යයන හා ආචාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ පර්යේෂණ හා විශ්වවිද්‍යාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
අධ්‍යාපනඥයින් සහ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් සංවිධාන කිරීම මෙන්ම අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සහ භාවිතයන් හුවමාරු කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමුවී ඇත.
මේ අතර, දරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, සිසුන් අතර සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින් දෙරටේ සිසුන්, අධ්‍යාපනඥයින් සහ අධ්‍යාපන ආයතන අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීම මෙහි අරමුණ වී තිබේ.

















































