
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් ඩොලරයේ කාසියක් අමෙරිකානු Mint ආයතනය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, සියවසකට පමණ පසු අමෙරිකානු මුදල් ඒකකයකට ඇතුළත් වූ පළමු ජීවමාන ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වෙයි.
අමෙරිකාවේ 250 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම කාසිය ඊයේ (03) නිකුත් කර ඇති අතර, එහි ට්‍රම්ප්ගේ රුවට අමතරව “Liberty” සහ “In God We Trust” යන වදන් ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම කාසි දෛනික ගනුදෙනු සඳහා සංසරණයට එක් නොකරන අතර, එකතු කරන්නන් සඳහා පමණක් අලෙවි කරන බව අමෙරිකානු Mint ආයතනය සඳහන් කරයි.
ජීවත්ව සිටින පුද්ගලයින්ගේ රුව අමෙරිකානු මුදල් ඒකකවල ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නීතිමය සීමාවන් පවතින නමුත්, අමෙරිකාවේ 250 වැනි සංවත්සරය වෙනුවෙන් සම්මත කළ නීතිමය විධිවිධාන යටතේ මෙම කාසිය නිර්මාණය කර තිබේ.
කාසි 25ක රෝලක් ඩොලර් 61කටත්, කාසි 100ක ඇසුරුමක් ඩොලර් 154.50කටත් අලෙවි කර තිබූ අතර, අලෙවිය ආරම්භ කර පැය කිහිපයක් ඇතුළත අමෙරිකානු Mint ආයතනයේ වෙබ් අඩවියේ එම කාසි “තොග අවසන්” බව දැක්වුණි.
කෙසේ වෙතත්, තවත් කාසි නිෂ්පාදනය කරමින් පවතින බවද එම ආයතනය සඳහන් කර තිබේ.
මේ අතර, පසුගිය මැයි මාසයේදී අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර තිබුණේ ජනාධිපති ට්‍රම්ප්ගේ රුව සහිත නව ඩොලර් 250 නෝට්ටුවක් නිකුත් කිරීමට සැලසුම් කරමින් සිටින බවය.
1926 වසරේදී අමෙරිකාවේ 150 වැනි සංවත්සරය සැමරීම සඳහා නිකුත් කළ ශත 50 කාසියක එවකට ජනාධිපති කැල්වින් කූලිජ්ගේ රුව ඇතුළත් කර තිබුණි.
නව ට්‍රම්ප් ඩොලර් 1 කාසියේ ඉදිරිපසට ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් කිරීම 2020 වසරේදී සම්මත කළ Circulating Collectible Coin Redesign Act හි විධිවිධාන යටතේ නීත්‍යානුකූලව සිදුකර ඇති බවද සඳහන් වේ.

















































