
වියට්නාමය තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙම නඩුවට අදාළව පුද්ගලයින් 227 දෙනෙකුට චෝදනා එල්ල වී තිබූ අතර, ඔවුන්ට මාස 18 සිට ජීවිතාන්තය දක්වා වන සිරදඬුවම් නියම කර ඇත.
ඉන් 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇති බව සඳහන්.
මෙම ජාවාරමේ ප්‍රධාන මහ මොළකරු ලෙස හඳුනාගත් Ha Danh Nam ද මරණ දඬුවම නියම වූවන් අතර වේ.
මොහු ප්‍රංශයේ සිටින වියට්නාම ජාතිකයන් සහ සිසුන් යොදාගනිමින්, ආහාර අතිරේක, රෙදි සෝදන කුඩු සහ කෝපි වැනි දිනපතා භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ තුළ මත්ද්‍රව්‍ය සඟවා වියට්නාමයට ගෙනවිත් ඇති බව විමර්ශනවලදී හෙළිව ඇත.
2023 මාර්තු මාසයේදී පැරිස් සිට හෝ චී මින් නගරයට පැමිණි වියට්නාම් එයාර්ලයින්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් සිව්දෙනෙකුගේ ගමන් මලුවල තිබූ දන්තාලේප ටියුබ් 157ක සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමත් සමග මෙම පරීක්ෂණ ආරම්භ වී තිබේ.
කෙසේ වෙතත් අදාළ ගුවන් සේවිකාවන් මත්ද්‍රව්‍ය ඇති බව නොදැන ඒවා ප්‍රවාහනය කර ඇති බව තහවුරු වීම නිසා ඔවුන්ට එරෙහිව නඩු පවරා නොමැත.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ මූල්‍ය වටිනාකම වියට්නාම ඩොං ට්‍රිලියන 29 කට (අ.ඩො. බිලියන 1.1ක් පමණ) ආසන්න බව සඳහන්.
වියට්නාමය යනු තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවල් අතුරින් එකක් වන අතර, එහි මරණ දඬුවම නියම වූ 1,000කට වැඩි පිරිසක් සිටින බව මානව හිමිකම් සංවිධාන පවසයි.

















































