
මලෛයිගම් ජනතාව මෙරටට පැමිණ වසර 200කට පසු ඔප්පුවක් සහිත තමන්ගේම නිවසක් සහ ස්ථිර ලිපිනයක් ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
2017 වසරේ සිදුවූ ස්වාභාවික ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් පාලින්දනුවර, පැළෑද බටහිර ග්‍රාම නිලධාරී වසමේ මොහොමදීවත්ත නව නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 17ක් ඉදිකිරීමේ කටයුතු අද (03) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාද එක්ව සිටියේය.
2025 වසරේ ආරම්භ කළ මොහොමදීවත්ත නව නිවාස ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම්ද සහිතව එක් නිවසක් රුපියල් ලක්ෂ 34ක් බැගින් වන නිවාස 17ක් ඉදිකිරීමට නියමිතය.
ඉන් නිවාස 12ක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඉදිකෙරෙන අතර, ඉතිරි නිවාස 5 ඉන්දියානු නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් ඉදිකිරීමට නියමිතය.
වසර 09ක් පුරා අධිඅවදානම් සහ අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙමින් නිවාස නොමැතිව පීඩාවට පත්ව සිටි ආපදා ලාභී ජනතාවට ස්ථිර නිවාස ලබාදීම සඳහා අමාත්‍යාංශ දෙකක ඒකාබද්ධ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මේ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ 2026 වසරේ දෙවන අදියර යටතේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 16 දෙනෙකු සඳහා රුපියල් මිලියනය බැගින් වූ නිවාස ආධාර චෙක්පත්ද අද ප්‍රදානය කෙරිණි.
එහි පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 08 දෙනෙකුට නිවාස ආධාර ලබාදී නිවාස ඉදිකිරීම් අවසන් කර ඇති අතර, තෙවන අදියර සඳහා ප්‍රතිලාභීන් 55 දෙනෙකු තෝරාගෙන තිබේ.
මලෙයිගම් ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගතවුවද, ඔවුන්ට ඔප්පුවක් සහිත තමන්ගේම නිවසක්, ලිපිනයක් සහ අනන්‍යතාවක් ලබාදීමට හැකිවී ඇත්තේ වත්මන් රජය යටතේ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.
ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් වෙන්කරන මුදල් ඉලක්කගත වැඩපිළිවෙළක් යටතේ එම කටයුතු සඳහාම යෙදවිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ලබන වසරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට නියමිත බවද ඔහු පැවසීය.
දිගුකාලීනව පීඩාවට පත්ව සිටින ජනතාවට ස්ථිර සහ සුරක්ෂිත නිවාස හිමිකරදීම රජයේ මූලික අරමුණක් බවත්, අදාළ නිවාස කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

















































