
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (2) පැවැති අදාළ පෙත්සම් විභාගය සඳහා නිරීක්ෂකයකු ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, අවසානයේ සිදුවු දේ ඒක ඉතාමත් කණගාටුදායකය බවය.
එමෙන්ම පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකිරීම සම්බන්ධයෙන්ද ස්ටීවන් තිරූ මහතා මෙහිදී අදහස් දැක්වීය.
අධිකරණයේ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතිශය වැදගත් වන මෙවැනි කරුණක් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) පත් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ ප්‍රජාව අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බවද ස්ටීවන් තිරූ මහතා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මෙවැනි වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු විභාග කිරීම සඳහා විශාල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලබන නමුත්, මෙම නඩුව සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවද හෙතෙම පැවසීය.
එබැවින් මෙවැනි තීරණාත්මක නඩුවක් සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නොදීමට හේතු වූ කරුණු කවරේදැයි ප්‍රශ්න කළ ඒ මහතා, මෙය අධිකරණයේ ස්වාධීනත්වය හමුවේ මතුවන බරපතළ ගැටලුවක් බව වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මං අද ආවේ මේ නීති කෘත්‍ය බලන්න. අප විසින් සිදුකළ නිරීක්ෂණයන් පදනම් කරගනිමින් අපි වාර්තාවක් සකස් කරනවා. විනිසුරුවරුන් අද දවස පුරාම ඉතා ඉවසීමෙන් යුක්තව මෙම නීති කෘත්‍ය හැසුරුවා. ඔවුන් නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා.
කෙසේ වෙතත් අවසානයේ සිදුවූ දේ එක ඉතාමත් කනගාටුදායකයි. පෙත්සම්කරුවන්ට, නීතිඥවරුන්ට පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. ඔවුන්ට කිව්වා ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකරන්න කියලා.
බොහොමයක් අධිකරණ ක්‍රියාවලිවලදී ඒක ඒතරම් සුලබ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම මේවගේ වැදගත් නඩුවලදී වාචික පිළිතුරුදීමේ අයිතිය සාමාන්‍යයෙන් ලබාදෙනවා.
ඉතින් මට හිතෙනවා ඒක හරිම කනගාටුදායකයි කියලා. අපේ අදහස නම් ඔවුන්ට තිබ්බා පිළිතුරුදීමට අවස්ථාවක් ලබාදෙන්න.
මම මෙතන නීතිඥ සංගමයේ සාමාජිකයන්ගෙන් දැනගත් දේ තමයි, මෙතන පූර්ණ විනිසුරු මඩුල්ලක් සිටියේ නැහැ. මොකද මේක ඉතාමත් වැදගත් නීති කෘත්‍යයක්.
සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉන්න ඕන. මට කිව්වා ඔවුන්, ඔවුන්ගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා කියලා. එතන ගැටලුවක් තියෙනවා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකළේ ඇයි කියලා.
දෙපාර්ශ්වය විසින් තර්ක කරනු ලැබූ නඩුවේ හොඳ නරක පිළිබඳ මා අදහස් දක්වන්නේ නැහැ. ඒක අපේ රාජකාරිය නෙමෙයි. නමුත් අධිකරණයේ ස්වාධිනත්වය කියන්නේ ඉතාමත් වැදගත් සංකල්පයක්.
ඒ නිසා එය ආරක්ෂා විය යුතුයි. සියලුම නීති තර්ක පැත්තකින් තියමු. අධිකරණයේ ස්වාධිනත්වය පළුදුවීමට යම් පියවරක් අරගෙන තියෙනවා නම් එය ඉවත් කළ යුතුයි. එම සැකය දිගටම පවතිනවා නම් තීතිය ගැන තර්ක කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ..." යැයි පැවසීය.



















































