
වසර තුනක කාලයක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
“Ceylon King Coconut Village” ජාතික වැඩසටහන යටතේ මෙම ගම්මාන ස්ථාපිත කිරීමට නියමිතය.
මෙරට තැඹිලි වගාව නව මඟකට ගෙන යමින්, නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීමත්, තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමත් මෙම වැඩසටහනේ අරමුණ වේ.
ඒ යටතේ 2026 වසරේදී තැඹිලි ගම්මාන 75ක්, 2027 වසරේදී ගම්මාන 80ක් සහ 2028 වසරේදී ගම්මාන 95ක් වශයෙන් ගම්මාන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව ඊයේ (02) පැවති “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන අමතමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළ තුළ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වන විට ඩොලර් බිලියන 4ත් 5ත් අතර වටිනාකමකින් යුත් විශාල වෙළෙඳපොළක් පවතින බවය.
ඉදිරි වසර 10 තුළ මෙම ගෝලීය වෙළෙඳපොළ ඩොලර් බිලියන 10කට ආසන්න මට්ටමක් දක්වා දෙගුණයක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින්, එම වෙළෙඳපොළෙන් විශාල පංගුවක් අත්පත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බවද ඒ මහතා සඳහන් කළේය.
තවද, ග්‍රාමීය තැඹිලි වගාකරුවන්ගේ පවුල් ආදායම සහ ගම්මානවල ආදායම් මට්ටම ඉහළ නැංවීමට මෙන්ම, මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි කිරීමටද මෙම වැඩසටහන මඟින් අවස්ථාව සැලසෙන බැවින්, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහාද සුවිශේෂී දායකත්වයක් ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
එමෙන්ම, පසුගිය වසරේ ශ්‍රී ලංකාව භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 14කට ආසන්න ආදායමක් ද සේවා, තොරතුරු තාක්ෂණ හා සංචාරක ක්ෂේත්‍ර ඇතුළුව සමස්තයක් ලෙස ඩොලර් බිලියන 17.2ක ආදායමක්ද උපයා ඇත.
කෙසේවෙතත් ආනයන සඳහා ඩොලර් බිලියන 22කට ආසන්න ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇති බවත්, ඉදිරියේදී එම පරතරය අවම කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බවත් ඒ ආචාර්ය උපාලි පන්නිලගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


















































