
ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් සුර්ය බලශක්ති කාර්මික ශිල්පීන් නියාමනය සඳහා අදාළ රීති ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව 2028 ජනවාරි 01 දින සිට 2029 දෙසැම්බර් 31 දක්වා කාලය සුර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස ඊට අදාළ කටයුතුවල නියැලීම සඳහා එම වෘත්තිය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය නිපුණතා සුදුසුකම් 3 වන මට්ටම අවම සුදුසුකම ලෙස අනිවාර්ය කර ඇත.
2030 ජනවාරි 01 දිනෙන් පසුව සුර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස අදාළ කටයුතුවල නියැලීමට අවම වශයෙන් සුර්ය බල තාක්ෂණය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටම සපුරා තිබිය යුතුය.
එමෙන්ම ඉංජිනේරු කාර්මික ශිල්පියෙකු වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වීම ද අනිවාර්ය කර ඇති බව සඳහන්ය.
ඒ අනුව සුර්ය බල තාක්ෂණ ශිල්පීන් 5,000ක් සහ උපදේශකවරු/පරීක්ෂකවරු 100ක් බිහිකිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ආරම්භ කර තිබේ.
2030 වන විට 70%ක පුනර්ජනනීය ඉලක්කයට ළඟාවීම සඳහා වාර්ෂිකව මෙගාවොට් 600ක පමණ ධාරිතාවයක් සුර්ය බල පද්ධති මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ යුතුය.
මේ වන විට සුර්ය බල පද්ධති ආනයනය හා සවිකිරීම සඳහා සමාගම් 1000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් බලපත්‍ර ලබාගෙන ඇත.
දැනට සුර්ය බල පද්ධති කර්මාන්තය තුළ 10,000ක් පමණ සේවයේ නිරත වුවද ඔවුන්ගෙන් බහුතරයකට මෙම කර්මාන්තයේ නිපුණතාවය පිළිබද පිළිගත් වෘත්තීය සහතිකයක් නොමැති බව සඳහන්ය.
වාර්ෂිකව මෙගාවොට් 600ක පමණ සුර්ය බල පද්ධති සවිකිරීමේ වැඩපිළිවෙල සඳහා සුර්ය බල තාක්ෂණික ශිල්පීන් 5000ක් වාර්ෂිකව බිහි කළ යුතුය.
කෙසේ වෙතත් සුර්ය බල තාක්ෂණය පිළිබද අධ්‍යයනය කිරීම සදහා අවශ්‍ය පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථාන ද සීමාසහිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
සුර්ය බල තාක්ෂණය පිළිබද උපදේශකවරු ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි.
මේ ගැටලුවලට විසදුම් ලබාදීමේ අරමුණින් සුර්ය බල තාක්ෂණ ශිල්පීන් 5000ක් සහ උපදේශකවරු/පරීක්ෂකවරු 100ක් බිහිකිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ක්‍රියාවට නගන ලදී.
මෙම වැඩසටහන යටතේ සුර්ය බල තාක්ෂණ ශිල්පීන් 1500ක් පුහුණු කර ඇත.
මෙලෙස පුහුණුව ලැබූ ශිල්පීන්ට සුර්ය බල තාක්ෂණය සම්බන්ධයෙන් RPL ක්‍රමය යටතේ කඩිනමින් NVQ3 පිරිනැමීම සඳහා විශේෂ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි.
එම වැඩසටහන යටතේ සුර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස වසර 2කට වඩා පළපුරුද්ද ඇති කාර්මික ශිල්පීන් සඳහා නොමිලේ NVQ පිරිනැමේ.

















































