
2026 වසරේ ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම රුපියල් මිලියන 1,060,559ක් බවත් ඒ වන විට රුපියල් මිලියන 1,379,084ක් උපයා ඇති බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පවසයි.
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කළ අවස්ථාවේදීය.
තවද මෙම රේගු ආදායම ප්‍රතිශතාත්මකව 130%ක ප්‍රගතියක් බව ද එහිදී සඳහන් විය.
මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවටත් අදාළ දත්ත නිලධාරීහු මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කළහ.
2026 වාහන ආයනයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු පෙන්වා දුන්නේ 2026 ජූනි 30 වන විට වාහන 316,000ක් ආනයනය කර ඇති බවය.
ඒ අනුව රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇත.
ඉන් වැඩිම බදු ආදායම වන රුපියල් මිලියන 386,726ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි.
එසේම වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුනේ එන්ජින් ධාරිතාව 1000ccට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රුපියල් බිලියන 137.4කි.
එය සමස්ත ආදාමෙන් සියයට 9.96ක ප්‍රතිශතයක් බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණ විය.
එසේම ආනයනික බහාලුම් ප්‍රමාණයන් සහ ඒවා පරීක්ෂාවට ලක්වන ආකාරය, ශ්‍රී ලංකා රේගුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග, ඉදිරි සැලසුම් ඇතුළු කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

















































