
සැකකටයුතු ලෙස මියගිය හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු එළැබෙන සෙනසුරාදා දිනයේ දී සිදුකිරීමට නියමිතය.
එදිනම උදෑසන බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක දේහය තැන්පත් කිරීමට නියමිත බවද ඒ මහතාගේ පවුලේ ඥාතීන් පවසයි.
හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඔහු පදිංචිව සිටි තිඹිරිගස්යායේ නිවාස සංකීර්ණයේ සිය නිවසේදී මියගොස් ඇති බවට බම්බලපිටිය පොලීසියට ඊයේ (02) උදෑසන ඇමතුමක් ලැබී තිබුණි.
ඒ අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂා කිරීමේදී නිවසේ දොරක් අසල ඔහුගේ මළ සිරුර වැටී තිබුණු බව පොලීසිය පැවසුවේය.
ඔහු දොරෙහි එල්ලී දිවි නසාගෙන ඇතැයි සැකකරන බව ද පොලීසිය සඳහන් කළේය.
එම නිවසෙහි ඔහු සේවකයෙකු සමඟ කාලය ගත කර ඇති අතර එම සේවකයා පසුගිය දිනක යම් කටයුත්තක් නිසා නිවසින් පිටව ගොස් තිබේ.
එරාජ් මහතාගේ බිරිඳ හා දරුවන්ද කැනඩාවේ ජීවත්වන බව වාර්තා වේ.
මේ අතර ඔහු අධික ණයබරකින් පෙළී ඇතැයි තොරතුරු වාර්තාවන බව ද පොලීසිය සඳහන් කළේය.
මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුකෙරුණි.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා හා කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
එරාජ් ප්‍රනාන්දු මහතා පිළිබඳ රටතුළ දැඩි කතාබහක් ඇතිවූයේ 2014 වසරේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින අතරතුරදී ඇතිවූ සිද්ධියෙන් පසුවයි.
2014 වසරේ අප්‍රේල් මස 17 වනදා එම මන්ත්‍රීවරු එහි පැමිණි අවස්ථාවේදී එවක හම්බන්තොට නගරාධිපතිවරයා වූ එරාජ් ප්‍රනාන්දු මහතා ඔවුන්ට තර්ජනය කර තිබුණු අතර ඔහු අතෙහි තිබුණු පිස්තෝලය සෙල්ලම් පිස්තෝලයක් බවට ඔහු පසුව පවසා තිබුණි.

















































