
වනඅලි, දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (01) පස්වරුවේ මෙය සිදුකළ බව දැදනුම් දී ඇත.
"ක්ලීන් ශ්‍රී ලංකා"වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සමඟ එක්ව මහජන බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
3 Beam detection, Passive infrared ( PIR ) සංවේදක, ස්වයංක්‍රීය උෂ්ණත්ව සංවේදක සහ කිලෝ ග්‍රෑම් 20ට වැඩි සතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම හඳුනාගැනීම සහ අනවසර බලපෑම් හඳුනාගන්නා (Temper alarm ) පද්ධතියකින් මෙය සමන්විත බව සඳහන් වේ.
දුම්රිය මාර්ග දෙපස සවි කරන සංඥා ලාම්පු (රතු/කහ/කොළ) මෙන්ම, දුම්රිය එන්ජින් මැදිරිය තුළ ස්ථාපනය කෙරෙන විශේෂ තිරයක් මගින් අලියා සිටින නිශ්චිත ස්ථානය රියදුරු වෙත කල්තබා සන්නිවේදනය කරනු ලබයි.
පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ අදාළ නිලධාරීන් ඉදිරියේ මෙම පද්ධතියේ ආදර්ශ පරීක්ෂණය සාර්ථකව සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව ඊට අදාළ වාර්තාව සකසා තිබේ.
මෙම ක්‍රියාවලිය වනඅලි අනතුරු බහුලව සිදුවන ස්ථාන 13කදී නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන මස සිට ක්‍රියාත්මක කෙරෙන අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය සජීවීව දැකබලා ගැනීම සඳහා අලුතින්ම නිර්මාණය කළ "slps.lk" වෙබ් අඩවියද දියත් කිරීමට නියමිතය.

















































