
දකුණු ඉරානයේ Sirik ප්‍රදේශයේ නිවසක පැවති මංගල උත්සවයක් අතරතුර එල්ල වූ අමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන රතු අඩසඳ සංවිධානය පවසයි.
මියගිය සිව්දෙනා අතර සිව් හැවිරිදි දරුවෙකුද සිටින බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරාන මාධ්‍ය වාර්තා අනුව Chabahar, Konarak සහ Jiroft ගුවන්තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශවලටද ප්‍රහාර එල්ල වී ඇති අතර, Qeshm දූපත සහ Bandar Abbas ප්‍රදේශවල පිපිරීම් හඬ කිහිපයක් ඇසී තිබේ.
ප්‍රහාරවලට දැඩි ප්‍රතිචාරයක් දක්වන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කර ඇති අතර, ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර ලෙස මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ආරම්භ කර ඇති බවය.
මේ අතර, අමෙරිකානු හමුදා ඉරානයට එරෙහිව යළිත් ප්‍රහාර එල්ල කරමින් ඇති බව අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) පවසයි.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නෞකා සහ කලාපයේ යොදවා සිටින අමෙරිකානු හමුදා සාමාජිකයන් ඉලක්ක කරමින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය මෑත කාලයේ සිදුකළ බව කියන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවය.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කළහොත්, ඉරානයට එරෙහිව “වඩාත් දැඩි හා ඉහළ මට්ටමේ” ප්‍රහාර එල්ල කරන බවටය.
මෙය ජූලි අග භාගයෙන් පසු ඉරානයට එරෙහිව අමෙරිකාව සිදුකළ පළමු ප්‍රහාර මාලාවෙන් අනතුරුව සිදුවූ අලුත්ම ප්‍රහාරයයි.

















































