
නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් ජලවිදුලි බලාගාරවල උමං මාර්ග තුළ සිරවී සිටින සිය ගණනක් සේවකයන් මුදාගැනීම සඳහා නේපාල හමුදාව, ඉන්දීය සහ චීන විශේෂඥ කණ්ඩායම් සමඟ එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ග්ලැසියරය කඩා වැටීම හේතුවෙන් හිම, පස් සහ ගල් සමග ගසාගෙන ආ ජල පහරින් නේපාලය සහ චීන සීමාන්තර ප්‍රදේශවල විශාල විනාශයක් සිදු වූ අතර, දැනට ලැබී ඇති වාර්තාවලට අනුව මියගිය සංඛ්‍යාව 900 ඉක්මවා ඇත.
තවත් 4,000කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
නේපාලයේ රසූවා සහ නුවාකොට් දිස්ත්‍රික්කවල පිහිටි ජලවිදුලි බලාගාර 11ක සේවය කරමින් සිටි කම්කරුවන් 933දෙනෙකු අතුරුදන් වී ඇති අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් මඩ සහ ගල්වලින් සිරවී ඇති විශාල උමං මාර්ග තුළ රැඳී සිටින බවට විශ්වාස කෙරේ.
උමං මාර්ගවල සිරවී සිටින්නන් වෙත ළඟා වීම සඳහා පිපිරවීම්, බැකෝ යන්ත්‍ර සහ විශේෂ ආලෝක පද්ධති භාවිතා කරන බව නේපාල හමුදා ප්‍රකාශක රාජා රාම් බස්නෙට් පැවසීය.
"උමං මාර්ග ආසන්නයේ විශාල වශයෙන් පස් සහ නායයෑම් සුන්බුන් තැන්පත් වී තිබීම මුදාගැනීමේ කණ්ඩායම්වලට ලොකු අභියෝගයක් වී තිබෙනවා. නමුත් අපගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ කෙලෙස හෝ උමං මාර්ග විවෘත කරගැනීමටයි," ලෙසින් ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
කෙසේවෙතත් නේපාල අගමැති බාලේන්ද්‍ර ෂා ප්‍රකාශ කළේ මෙය පෙර නොවූ විරූ සහ දැවැන්ත ස්වාභාවික විපතක් බවත්, පවතින අයහපත් කාලගුණය සහ දුෂ්කර භූමි ප්‍රදේශය හමුවේ වුවද ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය.
මේ වන විට ගලවාගැනීමේ කටයුතු සඳහා නේපාල ආරක්ෂක අංශ සාමාජිකයන් 21,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර, චීනය සහ ඉන්දියාව උමං මාර්ගවල සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා විශේෂ තාක්ෂණික සහාය ලබා දෙමින් සිටී.
මෙම ආපදාවෙන් නේපාලයේ සහ චීනයේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් 90,000කට වැඩි පිරිසක් අවතැන් වී හෝ බලපෑමට ලක්ව ඇති බව රතු කුරුස සංවිධානය සඳහන් කර සිටී.

















































