
අමෙරිකානු විශේෂ බලකායන් විසින් වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටින කාලය තුළ ලබාගත් ප්‍රථම ඡායාරූප යුගලය ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලාවේ අගනුවර වන කරකාස් නුවරදී මදුරෝ සහ ඔහුගේ භාර්යාව වන සිලියා ෆ්ලෝරස් අමෙරිකානු විශේෂ බලකායන් විසින් පැහැරගෙන ගොස් එක්සත් ජනපදය වෙත රැගෙන යන ලදී.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගිනි අවි සතු කරගැනීමේ චෝදනා මත මෙම යුවළ නිව්යෝර්ක්හි බෲක්ලින් හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින අතර, ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
X සහ ටෙලිග්‍රාම් සමාජ මාධ්‍ය වේදිකාවල ස්පාඤ්ඤ භාෂාවෙන් සටහනක් තබමින් මදුරෝ පවසා ඇත්තේ, "මම මෙම ඡායාරූප මගේ සියලුම මුණුබුරන්ට, පිරිමි සහ ගැහැණු දරුවන්ට සහ අපට ආදරය කරන සියලුම යහපත් මිනිසුන්ට කුඩා තිළිණයක් ලෙස එවමි" යනුවෙනි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු, "අපගේ හදවත් ඔබේ ආදරයෙන් පිරී ඇති අතර, අපි ස්ථිරව සිටින බව ඔබ දැන ගැනීමට මම කැමැත්තෙමි. අපි ශක්තිමත්ව, සන්සුන්ව සහ විශ්වාසයෙන් සිටිමු: දෙවියන් වහන්සේ අප සමඟ සිටිනු ඇත. වෙනිසියුලාව නැවත නැඟී සිටිනු ඇත" යනුවෙන් සඳහන් කර ඇත.
අළු පැහැති ට්‍රැක් සූට් එකක් හැඳ දෑතින් සාමයේ සංකේතය (peace signs) පෙන්වන අයුරු මෙම ඡායාරූප දෙකෙහි දැක්වෙන අතර, අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු සැලකිය යුතු ලෙස බර අඩු කරගෙන ඇති බව එම ඡායාරූප වල දැක්වේ.
පසුගිය ඉරිදා මෙම සටහන් පළ කර තිබුණ ද, ඡායාරූප දෙකෙහිම කාල සටහනට (timestamp) අනුව ඒවා ලබාගෙන ඇත්තේ ජුනි 25 වන දින ය.
එනම්, උතුරු වෙනිසියුලාවට දැඩි ලෙස බලපෑ භයානක භූමිකම්පා යුගලයකින් පුද්ගලයන් 6,500 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී විශාල විනාශයක් සිදුවී දිනකට පසු දිනයේය.
මෙම ඡායාරූප සැබෑ ඒවා ද සහ ඒවා සඳහා අවසර ලබා දී තිබුණේද යන්න පිළිබඳව විමසීමට AFP විදෙස් ප්‍රවෘත්ති ඒජන්සිය රැඳවුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන් වේ.
බන්ධනාගාරය තුළ මදුරෝට පුවත්පත් හෝ අන්තර්ජාල පහසුකම් නොමැති වුවද, හිටපු නායකයාට ආසන්නතම ආරංචි මාර්ගයක් පවසන පරිදි, ඔහුට මසකට ආසන්න වශයෙන් මිනිත්තු 300 ක් තම පවුලේ අය සහ නීතිඥයින් සමඟ දුරකථනයෙන් කතා කිරීමට අවසර දී ඇති අතර, එක් ඇමතුමක් සඳහා උපරිම මිනිත්තු 15 ක කාල සීමාවක් හිමි වේ.
නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයක් විසින් පසුගිය ජූලි මාසයේදී නිවේදනය කළ පරිදි, මදුරෝ සහ ඔහුගේ භාර්යාවගේ නඩු විභාගය 2027 ජූනි 01 වන දින ආරම්භ වීමට නියමිතය.

















































