
ලොවම කම්පා කරමින් නේපාල - ටිබෙට් දේශසීමාවට කඩා වැදුණු ව්‍යසනකාරී ගංවතුරෙන් විනාශ වූ රට නැවත ගොඩනැගීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර මුදලක් අවශ්‍ය බව නේපාලයේ මුදල් අමාත්‍ය ආචාර්ය ස්වර්නිම් වග්ලෙ පවසයි.
දැවැන්ත ජල කඳට හසුවී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 626ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් 2,900 ඉක්මවූ පිරිසක් පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.
නේපාල හිමාල කඳුවැටි සසල කරමින් ජීවිත රැසකගේ ඉරණම තීරණය කළ මහා ගංවතුර හටගෙන අදට දින 4ක් ගත වී ඇත.
නාරායනි සහ ත්‍රිශූලි ගංගා ඉවුරෙන් හමුවූ මෘතදේහ 233න් මේ දක්වා හඳුනාගෙන ඇත්තේ මෘතදේහ 4ක් පමණකි.
පවතින තත්ත්වය යටතේ මෘතදේහවලින් දැඩි දුර්ගන්ධයක් හැමීම සහ වසංගත රෝග පැතිරීම වැළැක්වීම සඳහා එම මෘතදේහ භූමදාන කිරීමට අද (29) රැස්වූ චිට්වාන් දිස්ත්‍රික් ආරක්ෂක කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව අද සිට එම මෘතදේහ නේපාලයේ හින්දු වන්දනා නගරයක් වන දේව්ගාට් හි පූජනීය හින්දු භූමියක ස්ථාපිත සමූහ මිනීවළක භූමදාන කිරීමට සැලසුම් කර ඇත.
මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි පසුබිමක නේපාලයේ තවත් 2,426ක් අතුරුදන් බව පැවසේ.
එමෙන්ම මඩ සහ සුන්බුන් අතර සිරවූ 4,000කට ආසන්න පිරිසක් මේ වනවිට බේරාගෙන තිබේ.
බේරාගත් පිරිස අතර විදේශිකයන් 187දෙනෙකුද සිටින බව නේපාල සංචාරක මණ්ඩලය සඳහන් කර සිටී.
මෙම ආපදාවෙන් නේපාලයේ පාසල් 20කටත් දැඩි හානි සිදුව තිබේ.
නේපාලයේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පැවසුවේ ආපදාවට පත් රසුවා, නුවාකොට් සහ ධාඩිං දිස්ත්‍රික්කවල පිහිටි පාසල්වල ගුරුවරුන් 11ක් සහ සිසුන් රැසක් පිළිබඳ කිසිඳු තොරතුරක් වාර්තා නොවන බවය.
මේ අතර ටිබෙට් ප්‍රදේශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් සංඛ්‍යාව 554ක් බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
විදෙස් මාධ්‍යවේදීන්ට ටිබෙට් වෙත ප්‍රවේශ වීම සීමා කිරීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් තොරතුරු ලබාගැනීම දුෂ්කර වී තිබේ.
මෙවන් පසුබිමක මෙම දැවැන්ත ගංවතුරට හසුවී මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල තිබී සොයාගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
නේපාලයේ දකුණුදිග චිට්වාන් කලාපයට මායිම්ව පිහිටි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර් යන දිස්ත්‍රික්ක හරහා ගලාබසින ගංගාවල පාවෙමින් තිබියදී මෙම සිරුරු හමුවී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
එමෙන්ම මඩ සහ සුන්බුන් අතර සිරවූවන් සොයා මුදාගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක අතර ඒ සඳහා 15,000කට අධික පිරිසක් යොදවා ඇත.
කෙසේවෙතත්, රසුවා දිස්ත්‍රික්කයේ මාර්ග සහ පාලම් විනාශවීම හේතුවෙන් එහි ළඟාවිය හැක්කේ ගුවන් මගින් පමණකි.
එමෙනම් ටිබෙට්හි මුදාගැනීමේ කටයුතුවල නිරතව සිටින නිලධාරීන්ට අවශ්‍ය සැපයුම් ලබාදීම සිදුකරන්නේත් ඩ්‍රෝන යනා මගිනි.
චීන රාජ්‍ය මාධ්‍ය අද වාර්තා කළේ ආපදාවෙන් දැඩි හානි සිදුවූ නේපාල - චීන දේශසීමාවේ පිහිටි ගයිරොන්ග් දේශසීමා මුරපොළ පිහිටි ස්ථානයට අද පළමුවරට චීන මුදාගැනීමේ නිලධාරීන්ට ළඟාවීමට හැකිවූ බවය.
එහි ගිය නිලධාරීන් අනාවරණ කර තිබුණේ එම ස්ථානයේ දිවි ගලවා ගත් අයගේ කිසිඳු සලකුණක් නොමැති බවය.
මේ අතර රටවල් රැසක්ද නේපාලයට සහාය දීමට ඉදිරිපත්ව සිටියත් එරට තුළ දැනට ක්‍රියාත්මක සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විදේශීය රටවලින් ලැබෙන සහාය ලබාගැනීමේ අවශ්‍යතාවයක් දැනට නැතැයි නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලොක් බහාදූර් ඡෙත්‍රි ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබුණි.
කෙසේවෙතත් ඉන් පැය කිහිපයකට පසු එම තීරණය වෙනස් කිරීමට නේපාල රජය තීරණය කළේය.
නේපාලයේ The Kathmandu Post පුවත්පත වාර්තා කර තිබුණේ අදාළ තීරණය වෙනස් කර ඇත්තේ ආපදාවෙන් තවමත් අතුරුදන් වූ පුද්ගලයින් අතර විදේශිකයින් සිටින නිසා එම රටවල දැඩි රාජ්‍යතාන්ත්‍රික පීඩනයෙන් පසුව බවය.
කෙසේවෙතත් අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නේපාල විදේශ කටයුතු අමාත්‍ය සිෂිර් ඛානල් පැවසුවේ රජය විදෙස් සහාය ප්‍රතික්ෂේප නොකළ අතර නේපාලය ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවය.
මේ අතර ගංවතුර බලපෑමට හසුවූ කඳුකර ප්‍රදේශවලට යළිත් තද වැසි ඇදහැලුණි.
එරට කාලගුණ බලධාරීන් පවසන්නේ ඉදිරියේදී මෝසම් වැසි ඇතිවිය හැකි බැවින් මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවය.
එමෙන්ම ග්ලැසියර කඩාවැටීම සහ නායයෑම් හේතුවෙන් ගංගා අවහිර වී තවත් විශාල ජල තටාක දෙකක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වේ.
පළමු විලේ ජලය ක්‍රමයෙන් බැස යමින් තිබුණත්, දෙවැනි විල තද වැසි හේතුවෙන් තවදුරටත් විශාල වෙමින් පවතින බව ද සඳහන්.
නව විල් නිර්මාණය වී ජලය පිටාර ගැලීම හේතුවෙන්, ඊයේ දිනයේ නව ගංවතුර අවධානමක්ද හටගත්තේය.
ඒ හේතුවෙන් සහන කණ්ඩායම්වලට දෙවරක් සිය මෙහෙයුම් නැවැත්වීමටද සිදුවිය.
එමෙන්ම කඩා වැටුණු ග්ලැසියරයට ආසන්නයේ පිහිටි තවත් ග්ලැසියර් දෙකක ඉරාතැලීම් පිළිබඳ නිරීක්ෂනය වන බව නේපාල කාලගුණ හා ජල විද්‍යා බලධාරීන් පවසයි.
මේ වනවිට ඒවා කඩා වැටීමේ අවධානමක් නොමැති නමුත් අඛණ්ඩව ඒවා නිරීක්ෂණය කරන බව ද ඔවුන් පැවසීය.

















































