
හදිසි ජලගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත්වී සිටින නේපාලය වෙනුවෙන් ආධාර රැගත් තෙවැනි ගුවන්යානයද පිටත් කර හැරීමට කටයුතු යොදා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පවසයි.
ඉන්දියාව විසින් මානුෂීය සහනාධාර රැගත් ගුවන්යානා දෙකක් මීට පෙර නේපාලය වෙත යවා තිබුණි.
ආධාර රැගත් තෙවැනි ගුවන්යානය ද පිටත්ව ගිය පසු ඉන්දියාව විසින් නේපාලයට ලබා දුන් සමස්ත සහනාධාර ප්‍රමාණය ටොන් 60ක් දක්වා ඉහළ යනු ඇති බවද රන්දීර් ජයිස්වාල් පවසයි.
තෙවැනි ගුවන්යානය මගින් පමණක් ටොන් 12-13ක පමණ සහනාධාර තොගයක් ප්‍රවාහනය කිරීමට නියමිතය.
තාවකාලික ආවරණ, සනීපාරක්ෂක කට්ටල, සූර්ය බලශක්ති ලාම්පු, ජලය ඉවත් කරන පොම්ප, මුළුතැන්ගෙයි උපකරණ කට්ටල, ජෙනරේටර් සහ ඖෂධ ඇතුළු සහනාධාර ද්‍රව්‍ය මෙහි අඩංගු වෙයි.
මෙම මානුෂීය ආධාරවලට අමතරව, නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීම වෙනුවෙන් අතිරේක විශේෂිත සහන සේවා කණ්ඩායම් සහ මෙවලම් යැවීමටද ඉන්දියාව සූදානමින් පසුවෙයි.

















































