
චීන මහ බැංකුව වන චීන මහජන බැංකුව නිකුත් කළ නව දත්තයන්ට අනුව, දැනට චීන අන්තර් දේශසීමා සඳහා භාවිත කෙරෙන චීන මුදල් (RMB) ගනුදෙනු පද්ධතිය ලොව රටවල් හා ප්‍රදේශ 192ක් ආවරණය කර ඇත.
ඉදිරියේදී එය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් වේගවත් ගනුදෙනු පද්ධතියක් ගොඩනැගීම හා එහි ප්‍රවර්ධන කටයුතු කඩිනම් කරමින්, චීනය අන්තර් දේශසීමා ගනුදෙනු සඳහා QR කේතය භාවිත කරමින් අන්‍යෝන්‍ය සම්බන්ධතාව පවත්වා ගැනීමට අඛණ්ඩව කටයුතු කරනු ඇත.
මේ සම්බන්ධයෙන් චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපති Lu Lei මහතා පවසන්නේ, මෙම වසරේ ජූනි මස අගදී චීන අන්තර් දේශසීමා RMB ගනුදෙනු පද්ධතියට සෘජුවම හා වක්‍රව එක්වූ ආයතන සංඛ්‍යාව පිළිවෙළින් 210ක් හා 1619ක් බවය.
ඒ අනුව අදාළ ගනුදෙනු මූල්‍ය ආයතන 5200කට වැඩි ප්‍රමාණයක් හරහා ලොව පුරා රටවල් හා ප්‍රදේශ 192ක් තුළ සිදු කළ හැකි බවත්, එහිදී චීන අන්තර් දේශසීමා RMB ගනුදෙනු හැකියාව ද අඛණ්ඩව තහවුරු කෙරෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව, එළඹෙන අගොස්තු මස 17 වැනිදා සිට, විශාල ප්‍රමාණයේ මූල්‍ය ගනුදෙනු මෙහෙයුම් සඳහා චීන අන්තර් දේශසීමා RMB ගනුදෙනු පද්ධතියේ සේවා කාලය, සෑම නීත්‍යනුකූල රාජකාරි දිනකම, දැනට පවතින පැය 21ක කාලයේ සිට පැය 22.5ක් දක්වා දීර්ඝ කිරීමට නියමිතය.
එමෙන්ම සති අන්තයේ හෝ නිවාඩු දින තුළ විශේෂ සේවා සැපයීමේ කාල සීමාව ද, දෛනිකව පැය 12 සිට පැය 13.5 දක්වා දීර්ඝ කෙරෙනු ඇත.
මෙම පියවර හරහා තාක්ෂණික ක්‍රමවේදයන් මත ගෝලීය ගනුදෙනු සඳහා වන අන්තර්ජාල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කෙරේ.
තවද, අන්තර් දේශසීමා ගනුදෙනු සඳහා QR කේත භාවිතයේදී අන්‍යෝන්‍ය සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමට ද චීනය අඛණ්ඩව කටයුතු කරනු ඇත.

















































