
2026 අගෝස්තු 20 වන දින පොලිස් නිෂ්කාශන සහතිකයක් සඳහා අයදුම් කළ අයදුම්කරුවන් නැවත මාර්ගගතව අයදුම් කළ යුතු බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
එදින නිෂ්කාශන දත්ත පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් අයදුම්කරුවන් විසින් යොමු කරන ලද අයදුම්පත් පද්ධතියෙන් ඉවත් වී ඇති බැවින්, අදාළ අයදුම්කරුවන් නැවත මාර්ගගතව නිෂ්කාශන සහතිකයක් සඳහා අයදුම් කළ යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නැවත ඉදිරිපත් කරන අයදුම්පත සම්බන්ධයෙන් වාර්තා කැඳවීමෙන් අනතුරුව නිෂ්කාශන සහතිකය නිකුත් කිරීමට හැකියාව පවතින බවද පොලිස් මූලස්ථානය පවසයි.
එමෙන්ම, පෙර අයදුම්පත සඳහා අයකරන ලද රුපියල් 5,100ක මුදල, අයදුම්කරු විසින් ගෙවීම් සිදුකළ කාඩ්පතට නැවත බැර කරන බවද දැනුම් දී තිබේ.
මේ අතර, පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන දත්ත පද්ධතිය අගෝස්තු 20 වනදා දහවල් 12.50 සිට අක්‍රියව පැවති අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කිරීමෙන් අනතුරුව එය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට පෙර පරිදි නිෂ්කාශන වාර්තා සඳහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

















































