
දීර්ඝ කාලයක් තිස්සේ පවතින දේශසීමා ආරවුල නිරාකරණය කරගැනීම සඳහා ඉන්දියාව සහ චීනය පසුගියදා සාර්ථක ඉදිරි පියවරක් තබා තිබුණි.
චීනයේ බෙයිජිං නුවර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව, දේශසීමා මායිම් වෙන්කිරීමේ ක්‍රියාවලියේ ඉක්මන් සහ සැලකිය යුතු ප්‍රතිඵල ලබාගැනීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත.
දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් පැවැති 25 වන විශේෂ නියෝජිත සාකච්ඡා වටය සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ චීන විදේශ ඇමති සාකච්ඡා පැවැත්විය.
මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස කරුණු 8කින් යුත් එකඟතාවකට එළඹීමට දෙපාර්ශ්වයම සමත්වී ඇති අතර, ඔවුන් එය හඳුන්වාදී ඇත්තේ ඉතා සාධනීය සාකච්ඡාවක් ලෙසය.
මෙම එකඟතාවට අනුව දැනට පවතින දේශසීමා සම්බන්ධීකරණ යාන්ත්‍රණය යටතේ තාක්ෂණික කණ්ඩායම් දෙකක් සක්‍රිය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, කිලෝමීටර් 3,500ක පමණ ආරවුල් සහිත දේශසීමා කලාපයේ තෝරාගත් අංශවල දේශසීමා මායිම් නිර්ණය කිරීමේ විශේෂඥ කණ්ඩායම් සිය ඉදිරි කටයුතු සැලසුම් කරනු ඇත.
මෙම තාක්ෂණික කණ්ඩායම් දෙකෙහි පළමු කාර්යය වන්නේ ඒවායේ නිල බලතල සහ කොන්දේසි සකස් කර ගැනීමය.
පසුගිය වසරේ පැවැති සාකච්ඡාවලට වඩා මෙය පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරන බව දෙපාර්ශ්වයම පවසයි.

















































